Sunday, May 19, 2024

General line - 0115112241

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය ලබන 31 වනදා දක්වා තවදුරටත් වසා දැමේ




ඉන්දියාවේ වැඩිම නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ප‍්‍රාන්තයක් වන මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය ලබන 31 වනදා දක්වා තවදුරටත් වසා තැබීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ, එම ප‍්‍රාන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගොස් තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ලබන 05 වනදා සිට එම ප‍්‍රන්තයේ හෝටල්, ආපන ශාලා, අවන්හල් සහ මත්පැන් අලෙවිසැල් ඒවායේ සාමාන්‍යයෙන් රැදී සිටිය හැකි පාරිභෝගිකයින් ගණනින් හරි අඩකට සීමා වන පරිදි විවෘත කිරීමට අවසර හිමි වනවා. ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයෙන් පමණක් මේ වනවිට වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන දාහතර ලක්ෂයකට ආසන්නයි. නව්‍ය කොරෝනා මරණ 36,600 කට අධික සංඛ්‍යාවක් ද මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයෙන් වාර්තා වනවා.

මේ අතර, නව්‍ය කොරෝනා ව්‍යාප්තිය සීඝ‍්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අගනුවර සහ ඒ අවට ප‍්‍රදේශ යළි වසා දමා තිබෙනවා. පසුගිය දෙසතිය තුළ ස්පාඤ්ඤයෙන් වාර්තා වූ සමස්ත නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන එක්ලක්ෂ 33,600 කට අධිකයි. එම ආසාදිතයින් අතරින් තුනෙන් එකකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැඞ්රිඞ් අගනුවරින් බවයි විදෙස් මාධ්‍ය ස`දහන් කළේ.