Wednesday, May 15, 2024

General line - 0115112241

ට‍්‍රම්ප්ට සුවය පතා පාක්ෂිකයින් රෝහල අභියසට




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඔහුගේ වෛද්‍යවරයා පවසනවා. එහෙත්, ජනාධිපතිවරයා හට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට ඇති බැවින් ඉදිරි දින කිහිපය අසීරු වනු ඇති බවයි ධවල මන්දිරය පවසන්නේ. කෙසේවෙතත්, නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ජනාධිපති ආර්යා මෙලේනියා ට‍්‍රම්ප් තවදුරටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ධවල මන්දිරය පවසනවා. 

මේ අතර ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් රිපබ්ලිකන් පාක්ෂිකයින් පිරිසක් ජනාධිපතිවරයා ප‍්‍රතිකාර ලබමින් සිටින හමුදා රෝහල ඉදිරිපිටට එක්ව සිටියා. ට‍්‍රම්ප්ට පක්ෂපාතී වැකි ලියා ඇති පුවරු හා මල්කළඹ රැගෙන පැමිණ සිටි එම පාක්ෂිකයින් ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති ට‍්‍රම්ප්ගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ඩිමොක‍්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ද ඊයේ තවත් කොරෝනා පරීක්ෂණයකට පෙනී සිට තිබෙනවා. ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව එහිදී යළිත් තහවුරු වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. ට‍්‍රම්ප් සහ බයිඩන් ඉකුත් දා ඔවුන්ගේ පළමු ජනාධිපතිවරණ සංවාදය සඳහා මුහුණට මුහුණ සහභාගී වුණා. 

ඉන් දින කිහිපයකට පසුව ජනාධිපති ට‍්‍රම්ප් කොරෝනා ආසාදිත බව තහවුරු වූ අතර ඒ හේතුවෙන් ජෝ බයිඞ්න් මේවනවිට කොරෝනා පරීක්ෂණ 02 ක් සඳහා සහභාගී වී තිබෙනවා. තමන් කොරෝනා ආසාදිතයෙකු නොවන බව ප‍්‍රකාශ කරමින් ජෝ බයිඞ්න් පැවසුවේ කොරෝනා වෛරසය පාලනය සඳහා ජනාධිපති ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාකාරීත්වය පිළිබඳ තමන් මේ මොහොතේ අදහස් පළ නොකරන බවයි. ජනාධිපති ට‍්‍රම්ප්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති පසුබිමක් තුළ තමන් ඔහුව විවේචනය නොකරන බවයි ජෝ බයිඩන් පවසා සිටියේ. 

මේවනවිට අමෙරිකාවෙන් සමස්ථ කොරෝනා ආසාදිතයින් හැත්තෑ හය ලක්ෂ 352 දෙදෙනෙකු වාර්තා වන්නේ සමස්ථ කොරෝනා මරණ දෙලක්ෂ 14,270 ක්ද සමගයි.