Tuesday, May 14, 2024

General line - 0115112241

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය අවසන් 




පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසන් කරන ලදී.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කතානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත ඉදිරි දිනකදී යොමු කිරීමට නියමිතය. අද (05) සිව් වන දිනට මෙම පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු වූ අතර  නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ දේශන අවසන් කරන ලදී.

මෙම සංශෝධනයට එරෙහිව පෙත්සම් 39 ක් ඉදිරිපත් වූ අතර අතරමැදි පාර්ශවයන් 20 ක් සංශෝධනයට පක්ෂව පෙත්සම් ගොනු කරන ලදී. මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඔක්තෝබර් මස 13 වෙනිදා වන විට කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

මෙම පෙත්සම් අද දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අළුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාරිලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරනයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.