Thursday, May 9, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් 80 කට ගිහින් : ආර්ථික මධ්‍යස්ථානය තුළ සෞඛ්‍ය ආරක්‍ෂිත භාවය අවමයි (PHOTOS)

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

එම පුද්ගලයන් දෙදෙනා දුනගහ, ඉදුරාගාර ප්‍රදේශයේ සහ දිවුලපිටිය, බටපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බව හඳුනාගෙන තිබේ.

ඔවුන් මේ වන විට PCR පරීක්ෂණ කිරීමෙන් පසුව  රඹුක්කන මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයන් දෙදෙනා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකු සමග කතරගම ප්‍රදේශයේ සංචාරක කර ඇති බවත් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයා හට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව දැන ගැනීමෙන් පසු මෙම පුද්ගලයන් දෙදෙනා ගේද PCR පරීක්ෂණය සිදු කර තිබේ. එහිදී එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා පසුගිය 04 වන දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 08 සිට පස්වරු 4.30දක්වා කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් අසූවකට ගමන් කොට ඇති බව ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිදරව් කරගෙන තිබේ.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමග දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි.එදිරිසිංහ විසින් දඹුල්ල මහ නගර සභාව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කළමණාකරන භාරය දැනුවත් කොට තිබේ.

මෙවැනි බරපතළ තත්ත්වයක තිබියදී අද (11) දින පස්වරුවේ පෙරවරුවේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථානයට අද දින අලුයම ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ බොහෝ දෙනෙකු දෑත් පිරිසුදු කර ගැනීමකින් තොරව ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන ආකාරයයි.

එමෙන්ම පිවිසුම් ගේට්ටු තුනකින් පමණක් පුද්ගලයන් ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාකොට බලා ඇතුල් කිරීම සිදු කරන අතර තවත් ස්ථාන තුනකින් කිසිදු පරීක්ෂණයකින් තොරව ආර්ථික මධ්‍යස්ථානය තුළට ඕනෑම අයෙකුට ඇතුළුවීමට ඉඩ සලසා තිබීම ද විශේෂත්වයකි.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත ව්‍යාපාරිකයින්, ගොවීන් මෙන්ම එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි බොහෝ දෙනා ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන කම්කරුවන් ද ආරක්ෂිත මුඛ ආවරණය පැළද ගැනීමෙන් තොරව සේවය කරන ආකාරය දැකගැනීමට හැකි විය.

ඇතැම් පිරිස් දුම්වැටි උරමින් සිටින අතර තවත් පිරිස් මුහුණු ආවරණය නොමැති නිසා පාරේ වැටි ඇති රෙදි කැබලි මුහුණේ ආවරණය කරගෙන සිටි අයුරුද දැකගත හැකිවිය.

එම තත්ත්වයන් මඟ හැරීම හෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් හෝ ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දින අලුයම දැක ගැනීමට නොහැකි වූ අතර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමි ව්‍යාපාරිකයින් ආර්ථික මධ්‍යස්ථානයේ දැක ගැනීමට නොහැකි වූ අතර සේවකයන් පමණක් වෙළඳසැල් වල සේවය කරන අයුරුද දැක ගැනීමට හැකි විය.