Thursday, May 9, 2024

General line - 0115112241

සෞඛ්‍ය රැකවල් මැද 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. ඒ, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ පූර්ණ අවධානය යොමු කරමින් මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව තුන්ලක්ෂ 31,694 ක්. විභාග මධ්‍යස්ථාන 2,936 කදී එම විභාගය පැවැත්වෙනවා. 

විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්. 

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් පෙරවරු 09.00 වන විට විභාග ශාලාවල අසුන් ගැන්විය යුතුයි. කොරෝනා වසංගතය හේතුවෙන් විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද කි‍්‍රයාත්මක වන බැවින්, පෙරවරු 08.45 වන විට විභාග අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානවලට පැමිණ සිටිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. 

මෙවර විභාගයේදී පළමු සහ දෙවන ප‍්‍රශ්න පත‍්‍ර සඳහා පිළිතුරු සැපයීමේදී සහන කාලයක් ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා.

මේ අතර, විභාග අපේක්ෂකයින් තමන්ගේ විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳීය යුතු අතර පිළිතුරු සැපයීමේදී පැන්සලක්, නිල් හෝ කළු පෑනක් භාවිත කළ හැකි වනවා. විභාග දෙපාර්තමේන්තුව මව්පියන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේ, මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් කල් වේලා ඇතිව ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව විභාග මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසයි. විවේක කාලයේදී මව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල් වීමට අවසර හිමි නොවන අතර එබැවින් දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් ලබා දෙන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

නිරෝධායන ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවලදී විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින විභාග අපේක්ෂකයින්ට, තමන් වෙසෙන බල ප‍්‍රදේශයේ විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ. 

අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබන සිසුන් 05 දෙනෙකුට ද විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ ස්ථානයක අවස්ථාව සලසා දී තිබෙනවා. එමෙන්ම, මහරගම අපේක්ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබන සිසුන් දෙදෙනෙකු ද එම රෝහලේදී අද එම විභාගයට පෙනී සිටීමට නියමිතයි. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට සිය විභාග ප‍්‍රවේශ පත‍්‍රය ඇඳීරි නීති බලපත‍්‍රයක් ලෙස යොදාගත හැකි වනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. 

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පෙර හෝ ආරම්භ වීමෙන් පසු මව්පියන් මෙන්ම දරුවන් ද අනෙක් දරුවන් සහ මව්පියන් සමග එක් නොවන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.