Monday, May 20, 2024

General line - 0115112241

පානදුරෙන් කොවිඩ් ආසාදිතයින් 20ක් : මාර්ග 06ක් වසා දමයි 

රෝහණ වසන්ත / දීපාල් ද සිල්වා / සමන් විජය බණ්ඩාර




හපුතලේ ප‍්‍රදේශයෙන් අද දිනය තුළ නව්‍ය කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලූදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයෙකුගේ ආශි‍්‍රතයින්. හැටන් නගරයේ ද අද හුදෙකලා කිරීමට තීරණය කෙරුණේ නව්‍ය කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තාවීමත් සමගයි. වහාම කි‍්‍රයාත්මක වන පරිදි පානදුර කෙසෙල්වත්ත, පොදු වෙළඳ සංකීර්ණය ද අද වසා දැමුණා. ඒ, එහි මසුන් අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට වෛරසය ආසාදනය වීමෙන් පසු ආශ‍්‍රිතයින්ට අදාළව සිදුකළ PCR පරීක්ෂණ වාර්තා ලැබීමත් සමගයි.

අද වනවිට පානදුර උතුර ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු ද, පානදුර දකුණු ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. මීට අමතරව පානදුර නගර සීමා බලප‍්‍රදේශයේ මාර්ග 06 ක වෙළඳසැල් වසා දැමීමටයි මේවනවිටත් පියවර ගෙන ඇත්තේ. ඒ, කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

කොරෝනා ආසාදිතයෙකුගේ සහභාගීත්වයෙන් පැවැති විවාහ මංගල උත්සවයක් හේතුවෙන් පිළියන්දල ප‍්‍රදේශයේ හෝටලයකට ද මුද්‍රා තබා තිබෙනවා. පොලීසිය පැවසුවේ බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්ත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 
තවත් පොලිස් නිලධාරීන් 57 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතඅ අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 355 ක්. නාවික හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහු පෑලියගොඩ කොරෝනා පොකුරට අයත් බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සතියක කාලයක් වෘත්තීය කටයුතු වලින් ඉවත්වීමට බලන්ගොඩ දිස්ත‍්‍රික් මහේස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමය ද තීරණය කර තිබෙනවා. බලපිටිය අධිකරණ සංකීර්ණයේ නඩු කටයුතුවලින් තාවකාලිකව බැහැරව සිටින බවට විනිසුරුවරුන් වෙත  බලපිටිය  අධිකරණ සංකිර්ණයේ නීතිඥ සංගමය ද ලිඛිතව දන්වා ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

මාවනැල්ල ප‍්‍රදේශයේ හිගුල්ඔය සහ මුරුතවෙලට අද සංචරණ සීමා පනවා තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තාවීමත් සමග අදාළ ප‍්‍රදේශවලට එලෙස සංචරණ සීමා පැනවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.