Tuesday, May 7, 2024

General line - 0115112241

තැන වෙනස් කිරීම ගැන අධිකරණ අමාත්‍යංශය කරුණු කියයි (VIDEO)




අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පරිශ‍්‍රයක ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ තාවකාලික පදනමින් බව එම අමාත්‍යාංශය පවසනවා. 

ඉදිරියේදී ඉදි කිරීම් කටයුතු නිම කිරීමට අපේක්ෂිත අධිකරණ නිවහන ව්‍යාපෘතියේ වැඩ අවසන් වූ පසු අධිකරණ අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. අධික මුදලක් වැය කරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පරිශ‍්‍රයක ස්ථාපිත කිරීමට සූදානමක් ඇති බවට පළ වූ වාර්තාවලට ප‍්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්. 

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අළුතින් විනිශ්චයකාරවරුන් 14 දෙනෙකු පත් කෙරුණා. විනිශ්චයකාරවරුන්ගේ මෙවැනි වැඩිවීමක් සඳහා අවශ්‍ය වන ඉඩ පහසුකම් උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ මුල් භෞතික සැලසුමේ ඇතුළත් වූයේ නැහැ. 

උපරිමාධිකරණ විනිසුරුවරුන් ගණන වැඩි වීමත් සමග නව අධිකරණ ශාලා ස්ථාපිත කිරීම, විනිශ්චයකාරවරුන්ට නිල මැදිරි සැපයීම සහ අනෙකුත් ආශ‍්‍රිත සේවාවන් හා පහසුකම් සැපයීමට ඉඩකඩ ලබාගැනීමේ හදිසි අවශ්‍යතාවක් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග පැවති සාකච්ඡාවලදී ඒකමතිකව තීරණය වී ඇත්තේ උපරිමාධිකරණ සංකීර්ණය යම් නිශ්චිත එක් ස්ථානයක පමණක් ස්ථාපිත විය යුතු බවයි. 

ඒ අනුව එය අළුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණය පිහිටි භූමියෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ස්ථාපිත නොකළ යුතු බවට ද තීරණය වී තිබෙනවා. ඒ අනුව අවශ්‍ය ඉඩ පහසුකම් සැපයීම සඳහා අධිකරණ අමාත්‍යාංශය උපරිමාධිකරණ සංකීර්ණ පරිශ‍්‍රයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයක් වෙත තාවකාලිකව රැගෙනගොස් ස්ථාපිත කිරීමට තීරණය වූ බවයි අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි අද අදහස් දැක්වුයේ මේ අයුරින්.