Wednesday, May 15, 2024

General line - 0115112241

විශේෂ විරෝධතාවයකින් තොරව තිහාරියේ ජනතාව PCR පරීක්ෂණ වලට පෙනී සිටියි 

ටී.කේ.ජී.කපිල




අත්තනගල්ල තිහාරිය ප්‍රදේශවාසීන් අද දින විශේෂ විරෝධතාවයකින් තොරව පී.සී.ආර්.පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන්ට සාමකාමීව සහාය ලබා දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කර සිටිනවා.

තිහාරිය ප්‍රදේශය වෙත පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් අද දිනයේදී පැමිණ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය බලධාරීන්ගේ සහාය දැක්වූ බවත් එසේම ප්‍රදේශයේ මව්ලවිවරුන් 14 දෙනෙකු ප්‍රදේශය පුරා යමින් සෞඛ්‍ය පරීක්ෂණ වල වැදගත්කම සහ පී.සී.ආර්.පරීක්ෂණ සදහා අවශ්‍ය සහාය ලබා දිය යුතු බවට අවධාරණය කරමින් ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබීම මෙසේ සාමකාමී වටපිටාවක් නිර්මාණය වීමට හේතු වී තිබූ බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 45 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් අතරින් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 08 දෙනෙකු, කැළණිය කොට්ඨාසයෙන් 07 දෙනෙකු , අත්තනගල්ල කොට්ඨාසයෙන් 06 දෙනෙකු ද වාර්තා වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 5,815 දෙනෙකු හමු වී ඇති අතර ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 93,640 ක් සිදු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා සදහන් කර සිටියා.