Thursday, May 16, 2024

General line - 0115112241

ණය පොලී අඩුවීම ඇතුලූ අයවැය සහන අද සිට ජනතාවට




2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරිගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා එලෙස කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. 

වහාම කි‍්‍රයාත්මක කිරීමට නියමිත අයවැය යෝජනා අතරට නිවාස සහ දේපළ ණය සහනය ද ඇතුළත්. ඒ අනුව රජයේ සේවකයින් වෙනුවෙන් රාජ්‍ය බැංකු හරහා ලබාදෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය සියයට 7 ක් දක්වා අඩු කිරීමට පියවර ගනු ඇති.     

ඒ අනුව දැනට ලබාගෙන ඇති හා ලබාගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකයින්ගෙන් අය කරනු ලබන පොලී ප‍්‍රතිශතය පළමු රුපියල් ලක්ෂ 5 සඳහා සියයට 3 දක්වාත්, රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා සියයට 7 දක්වාත් අඩු කෙරෙනු ඇති. 

ඒ අනුව දළ වශයෙන් රුපියල් මිලයන දෙකක නිවාස හා දේපළ ණයක් ලබා ගත් රාජ්‍ය සේවකයෙක් සඳහා සාමාන්‍යයෙන් මසකට රුපියල් 2,500ක වාසියක් හිමිවන අතර වාර්ෂික ඉතිරිය රුපියල් 30,000ක්. 

මේ අතර රාජ්‍ය සේවකයෙක් සඳහා සූර්‍ය බල උත්පාදන කට්ටල සවි කිරීමට අවශ්‍ය ණය පහසුකම් සියයට 4 ක පොලියට ලබා දෙනු ඇති. 

මේ අතර කොවිඞ් වසංගතයෙන් රෝගී වූ රාජ්‍ය සේවකයන්ගේ වියදම් අග‍්‍රභාර රක්ෂණ අරමුදල මගින් දැරීමට ද රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රජයේ සේවකයන්ට අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය මගින් ලබාදෙන ප‍්‍රතිලාභ කිසිඳු අතිරේක අයකිරීමකින් තොරව තවදුරටත් පුළුල් කිරීමටයි රජය තීරණය කර ඇත්තේ. 

කොවිඞ් 19 වසංගතයෙන් රජයේ සේවකයෙකු මියගියහොත්, එම මරණ සඳහා අග‍්‍රහාර රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 07 ක උපරිම රක්ෂණ ආවරණයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. එසේම රාජ්‍ය සේවකයෙකු රෝගාතුරවී කොරෝනා ආසාදිතයින් සඳහා ප‍්‍රතිකාර කෙරෙන රෝහලක නේවාසිකව සිටීමට සිදුවුවහොත්, ඒ සඳහා ද දිනකට රුපියල් 3000 බැගින් දින 10 ක් සඳහා උපරිම රක්ෂණ වන්දියක් හිිමිවනු ඇති. 

මේ අතර කිරි ගොවීන්ට ලක්ෂ 10 දක්වා වූ සහන ණය ලබා ගැනීමේ හැකියාවද අද සිට උදාවනවා.