Monday, May 20, 2024

General line - 0115112241

උතුර - දකුණ යා වේ, දකුණේ ක්‍රීඩකයන්ගෙන් සවිමත් වූ උතුර LPL කුසලානය දිනයි




පළමු වරට පැවැත්වුණු ලංකා ප‍‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට තිසර පෙරේරා ප‍‍්‍රමුඛ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ රාති‍‍්‍රයේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී භානුක රාජපක්ෂ ප‍‍්‍රමුඛ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 6ක් දැවී ලකුණු 188ක් රැස් කළා. ෂොයිබ් මලික් ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 39ක් රැුස් කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිම සවිමත් කළා. 

පන්දු යැවීමේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ලකුණු 36කට බිද හෙලූ කඩුලූ සංඛ්‍යාව 3ක්. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි. ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිමේ පළමු කඩුලූ 3 ලකුණු 7කට දැවීයාම ඔවුන්ගේ පරාජයට දැඩි ලෙස බලපෑවා. 

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීගියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයේ අවදානමට ඇදදමින්. 

ඔහු කඩුලූ දෙක අතර දිව යමින් සිටියදී පන්දු යවමින් සිටි සුරංග ලක්මාල්ගේ සිරුරේ ගැටුනු අතර එය ධනුෂ්ක ගුණතිලකගේ දුවද්දී දැවී යාමට හේතු වුණා. එම දවා ගැනීමේ සාධාරණත්වය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය සම්බන්ධයෙන් බොහෝ පාර්ශව අතර සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි කතා බහක් මතුවීමද මෙහිදී කැපී පෙනුනා. 

ධනුෂ්ක ගුණතිලකගේ අවාසනාවන්ත දැවී යාමත් සමග වැඩි වගකීමක් පැවරුණු නායක භානුක රාජපක්ෂ පන්දු 17කදී වේගවත් ලකුණු 40ක් රැුස් කිරීමට සමත් වුණා. 

ඒ, හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමගින්. පන්දු රැුකීමේ දී ආබාධයකට ලක් වූ නායක භානුක රාජපක්ෂ උදරයේ වේදනාව හේතුවෙන් දැඩි අසීරුතාවකින් පන්දුවට පහරදීම මෙම තරගයේදී දක්නට ලැබුණා. අසාම් ඛාන් වේගවත් ලකුණු 36ක් රැස් කළා. පන්දු යැවීමේ දී උස්මාන් ශින්වාරි සහ ෂොයිබ් මලික් කඩුලූ 2 බැගින් බිද හෙලූවා. 

අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සොයිබ් මලික්. ඔහුට රුපියල් හාරලක්ෂ හැටදහසක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා. තරගාවලියේ නැගී එන කී‍‍්‍රඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන්. ඔහුට රුපියල් තුන්ලක්ෂ හැත්තෑ දහසක මුදලක් පිරිනැමුණා. 

තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ තරග 10කදි කඩුලූ 17ක් දවා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංගයි. ඔහුට පිරිනැමුණු මුදල් ත්‍යාගය රුපියල් දහඅට ලක්ෂ පනස් දහසක්. 

ශූරතාව දිනා ගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පිරිනැමුණු මුදල් ත්‍යාගය රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයක්. අනුශූරතාව දිනා ගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අනූ දෙලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා. 

ලංකා පි‍‍්‍රමියර් ලීග් ශූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ නායක තිසර පෙරේරා වෙත කුසලානය සහ මුදල් ත්‍යාගය පිරිනැමුවේ කී‍‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින්. මෙම තරගය නැරඹීම සදහා අග‍‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියද සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍‍්‍රඩාංගණය වෙත පැමිණ සිටියා.

විශේෂත්වය වන්නේ යාපනය නියෝජනය ක්‍රීඩා කරමින් තරග වැදුනු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ දේශීය ක්‍රීඩකයන් හත්දෙනාගෙන් පස්දෙනෙකු දකුණු පළාතෙන් පැමිණි ක්‍රීඩකයන් වීමයි. තරගාවලියේ වීරයා වනිදු හසරංග, චතුරංග ද සිල්වා, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ සුරංග ලක්මාල් ඒ ක්‍රීඩකයන් පස්දෙනායි.

මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් තරගාලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු යන මාසවලදී පැවැත්වීමට නියමිතයි.