Sunday, May 19, 2024

General line - 0115112241

සීමාවන්ට යටත්ව නත්තල් දේව මෙහෙයන්ට අවසර




සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව නත්තල් දේව මෙහෙය සිදු කරන ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් පවසනවා. අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

” අප මේ සිටින්නේ කොවිඩ් තත්ත්වය උග්‍ර අතට හැරෙමින් පවතින කාලයක. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා බස්නාහිර පළාතේ සිටින ජනතාවට නත්තල් දිනය වෙනුවෙන් වෙනත් පිට පළාත් වලට ගමන් කිරීමෙන් හෝ පිට පළාත්වල සිටින අය බස්නාහිර පලාතට ගමන් කිරීමෙන් වලකින්න කියලා. අපි මේ තත්ත්වය පාලනය කර ගැනීමට පියවර ගත යුතුයි.

ඒ වගේම නත්තල් දිනය දා වෙනදා මෙන් එකතුවී ප්‍රීති සන්තෝෂ වීම සඳහා උත්සව, ප්‍රිය සම්භාෂණ සුදානම් කිරීමෙන් වලකින්න කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට ආගමානුකුලව සිටීමට සියලු දෙනා කටයුතු කරන්න.

සෞඛ්‍ය නීති රීතීන්ට යටත්ව නත්තල් දිනය දා දේව මෙහෙයන් පැවැත්වීම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මෙවර සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන්න කියා මා සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා” යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.