Saturday, May 18, 2024

General line - 0115112241

කොරෝනා නිසා එංගලන්තයේ මිලියන 16 කගේ නත්තල් සැමරුම් අවලංගු වෙයි




කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි එංගලන්තයේ පුද්ගලයින් මිලියන 16කට අධික පිරිසක් නත්තල් සමයේදී අගුලූ දැමීමකට ලක් කිරීමට බි‍්‍රතාන්‍ය රජය පියවර ගෙන තිබෙනවා. ඒ, එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ජාවකදී එළඹි තීරණයකට අනුවයි.

 ඒ අනුව නත්තල් සමයේදී ලිහිල් කිරීමට නියමිතව තිබූ නිරෝධායන රෙගුලාසි ද ලිහිල් නොකර සිටීමට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් මිලියන 16 කගේ නත්තල් සැලසුම් අවලංගු වුව ද මේ වනවිට එංගලන්තයේ පැතිර යන දෙවන කොවිඞ් රැල්ල සම්පේ‍්‍රෂණය වීමේ හැකියාව, පළමු කොවිඞ් රැල්ලට වඩා සියයට 70 කින් වැඩි බැවින් එම පියවර ගත් බවයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත්තේ.

නත්තල් සමයේ දවස් පහක කාලයකට එංගලන්තයේ නිවාස තුනක පුද්ගලයින්ට ගෘහස්ථව එකිනෙකා එකවර හමුවීමට ලබා දී තිබූ අවසරය ද අද සිට කි‍්‍රයාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. එමෙන්ම, ලන්ඩනය සහ ගිණිකොණදිග එංගලන්තයට මෙතෙක් පැවති තුන්වන මට්ටමේ නිරෝධායන රෙගුලාසි, සිව්වන මට්ටමේ ඉතා දැඩි රෙගුලාසි දක්වා ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව සමස්ත එංගලන්තයෙන් තුනෙන් එකක් පමණ වන මිලියන 16.4 ක ජනතාව, රැකියා සඳහා යාම වැනි අත්‍යාවශ්‍ය හේතූන් හැරුණුකොට නත්තල් සමයේදී නිවෙස් තුළට වී සිටිය යුුතු වනවා. දැනට සිව්වන මට්ටමේ නිරෝධායන රෙගුලාසිවලට යටත්ව සිටින එම පුද්ගලයින්ට නත්තල් සමයේදී අන් අය හමුවීමට අවසර හිමි වන්නේ නැහැ. එංගලන්තයේ අනෙක් පුද්ගලයින්ට නත්තල් දිනය වන දෙසැම්බර් 25 වනදා පමණක් සිය පවුලේ සාමාජිකයින් සහ මිතුරන් හමුවීමට අවසර හිමි වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.