Saturday, May 18, 2024

General line - 0115112241

රටවල් 26ක් බ්‍රිතාන්‍යය ගුවන් යානා අත්හිටුවයි : නව කොරෝනා ප්‍රභේදය රටවල් 05කට ව්‍යාප්ත වෙයි




බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. 

ඒ අනුව මෙම නව කොවිඩ් ප්‍රභේදය වාර්තා වී ඇති රට ලෙස ඉතාලිය පත්ව ඇත. මිට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ සිට ඉතාලියේ රෝම නගරයට පැමිණි සංචාරකයෙකු හට නව වෛරස් ප්‍රභේදය වැලදී ඇති බවට තහවුරු වීමත් සමග එම පුද්ගලයා සහ ඔහුගේ සහකාරිය නිරෝධායනයට ලක් කිරිමට ඉතාලි බලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ වුවත් කොවිඩ් ආසාදිත බ්‍රිතාන්‍යය ජාතිකයාගේ සහකාරියට වෛරසය ආසාදනය වී නොමැති බවයි සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.

මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසය මෙන් 70 ගුණයක් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවයි බ්‍රිතාන්‍යය විද්‍යාඥයින් පවසනවා.

මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාවෙන් මේ වන විට වාර්තා වී ඇත.

මේ අතර ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කර සිටියේ පරීක්ෂණ වලින් සනාථ නොවුවත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය තම රට තුළද ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි සම්භාවිතාව වැඩි බවයි.

ඇතිවී තිබෙන නව තර්ජනය හමුවේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය, කැනඩාව, සෞදි අරාබිය, ඉන්දියාව, බෙල්ජියම, පෝලන්තය, ඔස්ට්‍රියා, ෆින්ලන්තය, බල්ගේරියාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරිමට මේ වන විට පියවර ගෙන ඇත.

බ්‍රිතාන්‍යයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි අමෙරිකාව සඳහන් කළේ.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී යුරෝපා සංගමය ද හදිසි රැස්වීමක් කැඳවා ඇති අතර ලඟ එන නත්තල් සහ අලුත් අවුරුදු උදාව සමග මෙම නව වෛරස් ප්‍රභේදයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නව සංචරණ නීති පැනවීම ගැන හා ඊට අදාළ ක්‍රියා මාර්ග ගැන මෙහිදී සාකච්ජා කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.