Monday, May 20, 2024

General line - 0115112241

කොරෝනා මරණ භූමදානයේ මාතෘකාව අදත් උණුසුම්




කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු, භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණය තවදුරටත් පවතින්නේ සාකච්ජා මට්ටමේ බව ආණ්ඩුව පවසනවා. කෙසේවෙතත්, බලහත්කාරයෙන් ආදාහනය නවත්වනු යන මැයෙන්, සමගි ජනබලවේගයේ මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා.

 ඊට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් පැවසුවේ කොරෝනා ආසාදිත දේහයන් ආදාහනයට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බවයි.

කෙසේවෙතත්, අද පැවැති උත්සවයකින් පසු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මාධ්‍ය වෙත පැවසුවේ මෙම ගැටළුව කෙරෙහි විවෘත මනසින් බලා එය විසඳා ගැනීමට සියලූදෙනා උපකාර කළ යුතු බවයි. 

මේ අතර කොරෝනා ආසාදිත මෘතදේහයන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත යුත්තේ සියලූ ජනකොටස් සමග සාකච්ජා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද පැවසුවා. 

මේ අතර කොරෝනා ආසාදිතව ඉකුත් දා මියගිය දින 20 ක් වයසැති බිළිඳාගේ මව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. සිය දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔවුන් එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු කිහිපදෙනෙකු අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. සිය දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පැහැදිලි කිරීම සඳහා කිසිඳු ලේඛනමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බවයි පෙත්සම්කරුවන් එම පෙත්සම මගින් පවසා ඇත්තේ.