Saturday, May 18, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙන නව කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවෙන් හමුවේ 




දකුණු අපි‍්‍රකාව තුළ ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය, ඔස්ටේ‍්‍රලියාවෙන් අද පළමුවරට හමුවුණා. එරට සෞඛ්‍ය අංශ පැවසුවේ දකුණු අපි‍්‍රකාව තුළ ව්‍යාප්තවෙමින් ඇති කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ආසාදනය වූ කාන්තාවක් එරටින් හමුවූ බවයි. 

එම කාන්තාව විදෙස් රටක සිට ඔස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තයට පැමිණ ඇත්තේ ඉකුත් 22වනදායි. අනතුරුව ඇය හෝටලයක නිරෝධායනය ලක්කර සිට ඇති අතර පසුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, එය දකුණු අපි‍්‍රකාව තුළ මේ දිනවල පැතිර යන වෛරස් ප‍්‍රභේදය බවත් අනාවරණ වී තිබෙනවා. 

ඒ අනුව අදාළ ආසාදිත කාන්තාව ආරක්ෂිතව කඩිනමින් රෝහලක් වෙත මාරු කර යැවූ බවයි ඔස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය අංශ පැවසුවේ. නව වෛරස් ප‍්‍රභේදය රටතුළ ව්‍යාප්තවීම වැළැක්වීමට අවශ්‍ය සියලූ පියවර ගෙන ඇති බව ද ඔස්ටේ‍්‍රලියාව සඳහන් කළා. එංගලන්තය තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය ද මීට දින කිහිපයකට පෙරදී ඔස්ටේ‍්‍රලියාවෙන් හඳුනා ගැනුණා. 

මේ අතර එංගලන්තය තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය මේවනවිට ලොව රටවල් 18 කින් හමුවී ඇතැයි විදෙස් වාර්තා පවසනවා. යුරෝපා රටවල් අතරින් නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ප‍්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්විඩනය, ෆින්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, අයිස්ලන්තය හා බෙල්ජියම යන රටවලින් මේවනවිටත් නව ප‍්‍රභේදය හමුවී තිබෙනවා. 

ආසියානු කලාපයෙන් එම වෛරස් ප‍්‍රභේදය වාර්තා වන රටවල් වන්නේ සිංගප්පූරුව, ජපානය, හොංකොං, දකුණු කොරියාව හා ඉන්දියාවයි. 

මැදපෙරදිග රටවල් අතරින් ඊශ‍්‍රායලයෙන් සහ ලෙබනනයෙන්, එංගලන්තයේ පැතිරයන කොරෝනා නව ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.