Saturday, May 18, 2024

General line - 0115112241

ෆයිසර් එන්නත ගත් අමෙරිකානු හෙද නිලධාරියෙකුටත් කොරෝනා




ෆයිසර් කොරොනා මර්ධන එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි 45 හැවිරිදි හෙද නිලධාරියෙකුටයි.

එම හෙද නිලධාරියා ඉකුත් දෙසැම්බර් 18 වනදා, ෆයිසර් කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගෙන තිබෙනවා. මාත‍්‍රාව ලබාගැනීමෙන් පසු තමන්ට කිසි අතුරු ආබාධයක් ඇතිනොවූ බවයි එම හෙද නිලධාරියා පවසා ඇත්තේ. කෙසේවෙතත්, දෙසැම්බර් 24 වනදා ඔහු කොරෝනා රෝගීන් සිටින වාට්ටුවක සේවය කර ඇති අතර දෙසැම්බර් 25 වනදා ඔහුට යම් රෝගී තත්ත්වයක් මතුව තිබෙනවා.

එබැවින් ඔහු කොරෝනා පරීක්ෂණයකට මුහුණ දී තිබුණා. එහිදී තහවුරු වී ඇත්තේ එම හෙද නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. 

කෙසේවෙතත්, අමෙරිකානු බෝ වන රෝග විශේෂඥයෙකු පවසා ඇත්තේ ෆයිසර් එන්නතෙන් අපේක්ෂිත ප‍්‍රතිශක්තීකරණය හිමිවන්නේ එන්නත් ලබාගෙන දින 14 ක් පමණ ගතවූ පසුව බවයි. එසේම පළමු මාත‍්‍රාවෙන් සියයට 50 ක පමණ ආරක්ෂාවක් හිමිවන බවත්, දෙවන මාත‍්‍රාව ලබාගැනීමෙන් පසුව සියයට 95 ක පමණ ආරක්ෂාවක් ලැබෙන බවත් ඔහු සඳහන් කළා. 

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ බවට මෙරට තුළ ආන්දෝලනයට ලක්වූ පැණිය සඳහා රජරට විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව එම ඖෂධය පිළිබඳ ඉදිරි සායනික පරීක්ෂණ සිදුකිරීම සඳහා අනුමැතිය හිමිවනු ඇති.