Saturday, May 18, 2024

General line - 0115112241

චීනය පළමු වරට කොවිඞ් එන්නතක් අනුමත කරයි




චීනයේ නිපදවූ සිනෝෆාම් කොවිඞ් මර්දන එන්නත මහජන භාවිතය සඳහා එරට රජය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. චීනය විසින් මහජන භාවිතය සඳහා කොවිඞ් මර්දන එන්නතකට අනුමැතිය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. 

ශීත සෘතුවේදී කොවිඞ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බැවින් එලෙස කඩිනමින් කොවිඞ් මර්දන එන්නතකට අවසර ලබා දුන් බවයි චීන රජය පවසන්නේ. එරට සෞඛ්‍ය අංශ කරුණු දක්වන්නේ සිනෝෆාම් කොවිඞ් මර්දන එන්නත, කොරෝනා වෛරසය වැළඳීම වැළැක්වීම සඳහා සියයට 79.34 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බවයි.

ලබන වසරේ පෙබරවාරි මාසයට යෙදෙන චීන අවුරුදු නිවාඩුවට පෙර එරට පුද්ගලයින් මිලියන 50 කට පමණ එම එන්නත ලබා දීමට චීන රජය සැලසුම් කර තිබෙනවා.

සිනෝෆාම් කොවිඞ් මර්දන එන්නත මහජන භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට චීනය පියවර ගනු ලැබුවේ, එම එන්නත මහජන භාවිතය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පළමු වරට අනුමැතිය ලබා දීමත් සමගයි. එමෙන්ම සිනෝෆාම් එන්නත් මිලියන 1.2 ක් මිලදී ගැනීමට පාකිස්ථානය ද එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.