Thursday, May 9, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 32 කුගේ PCR වාර්තා එයි




දළදා මාලිගා පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ සිටි 200 ක් වන සෙස් සියලූ පොලිස් නිලධාරීන් නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. දළදා මාලිගා පරිශ‍්‍රයේ පිහිටි පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු ආවරණයට වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ. 

මේ අතර පාර්ලිමේන්තු සේවකයින් පස්දෙනෙකුට හා එහි ආරක්ෂක නිලධාරීන් සිව්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, ඉකුත් 13 සහ 15 යන දෙදින පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකළ PCR පරීක්ෂණවලදීයි. එහිදී මන්තී‍්‍රවරුන් 32 දෙදෙනෙකු, පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය සහ ආරක්ෂක අංශ ද ඇතුළත්ව 943 දෙනෙකු පරීක්ෂාවට භාජනය කර තිබෙනවා.

කෙසේවෙතත්, ඒ අතරින් කිසිඳු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.  කෙසේවෙතත්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ ප‍්‍රකාශ කළේ ඉදිරියටත් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට මේවනවිට තීරණය කර ඇති බවයි. 

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, මාධ්‍ය වෙත අද ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක් හෙට පැවැත්වෙන බවයි. 

පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ පාර්ලිමේන්තුවේ කිසිඳු කාර්යාලයක් මේවනවිට වසා දමා නොමැති බවයි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවස්ථා කිහිපයකදී විෂබීජහරණය කළ බවත්, දැනට ආසාදිත වූ පුද්ගලයින්ගේ සමීප ආශ‍්‍රිතයින් පාර්ලිමේන්තුවට පැමිණීම සීමා කිරීමටත් පියවර ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ. 

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයින් 425 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගියා.

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 45,171 ක්. 
මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 52,313 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 6,886 ක්.