Thursday, May 9, 2024

General line - 0115112241

රක්ෂිත වල වගා කරන ගොවීන් නිරීක්ෂණයට හමුදා සහය




රක්ෂිත ආශ‍්‍රිතව කලක් තිස්සේ හේන් ගොවිතැන ඇතුළු වගා කටයුතු කළ ගොවීන්ට පසු කාලීනව සිදුකළ මැනුම් කටයුතු හේතුවෙන් සිදුව ඇති අසාධාරණය නිවැරදි කිරීම අරමුණ බව ආණ්ඩුව පවසනවා. ඒ, දැනට වන රක්ෂිත ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල ගොවිතැන් කටයුතු  අවසර ලබාදීම පිළිබඳ සමාජයේ මතුව ඇති දැඩි කතාබහ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමින්.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කලක් තිස්සේ ගොවිතැන් සිදුකළ ගොවීන්ට තම සුුපුරුදු භූමිවල වගා කටයුතු සිදුකිරීම සඳහා මේවනවිට අවසර ලබා දී ඇති බවයි. මෙම අවසරය ලබාදී ඇත්තේ වන රක්ෂිත ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල පිහිටි ලදු කැලෑ ආශී‍්‍රතව බව ද අමාත්‍යවරයා සඳහන් කලා. 

කෙසේවෙතත්, පරිසරවේදීන් පවසන්නේ මෙම තීරණය හේතුවෙන් ඉදිරියේදී ගැටළු රැසක් මතුවිය හැකි බවයි. එබැවින් මෙවැනි තීරණයක් ගැනීමට පෙර දැඩිව ඒ පිළිබඳ විමසා බැලිය යුතු බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රංවැල්ල ද නෙත් නිවුස් වෙත කියා සිටියා. 

පරිසරවේදීන් මතු කරන මෙම ගැටළු සම්බන්ධයෙන් නෙත් නිවුස් වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායකගෙන් විමසීමක් කළා. 

අමාත්‍යවරයා සඳහන් කළේ ගොවීන්ට මෙම අවසරය හිමිවන්නේ දැඩි සීමා කිරීම් මධ්‍යයේ බවයි. රක්ෂිත ලෙස නම් කර ඇති ප‍්‍රදේශවල ගොවිතැන් සිදුකරන පිරිස් සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා යුද්ධ හමුදාවේ ද සහය ඉල්ලා ඇති බවයි අමාත්‍ය සී බී රත්නායක පැවසුවේ. ඒ සඳහා ඩ්‍රෝන යානා, යොදා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය සම්බන්ධයෙන් ද ඊයේ පැවැති උත්සවයකින් පසු අමාත්‍ය සී බී රත්නායක මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ අක්කර භාගයක වගා කර ඇති ගොවීන්ට පවා ගිනිඅවි ලබාදීමට කටයුතු කරන බවයි. මීට පෙර එලෙස ගිනි අවි ලබාදී තිබුණේ අක්කර 05 ක වගා බිම් ඇති ගොවීන්ට පමණක් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර පරිසර විනාශය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ තොරතුරු වාර්තා වෙමින් ඇති පසුබිමක සිංහරාජ වැසි වනාන්තරයේ රක්වාන බෝවිටියාතැන්න ප‍්‍රදේශයේ ද එවැනි වන විනාශයක් සිදුව ඇති බවට අලූතින්ම වාර්තා පළවී තිබෙනවා.