Sunday, May 19, 2024

General line - 0115112241

අනුරාධපුරයේ ග්‍රාම නිලධාරී වසමක් හුදෙකලා කරයි 




අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. 

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හික්කඩුව ප්‍රතිකාර  මධ්‍යස්ථානයකට යොමු කෙරුණා. ස්වයං නිරෝධානයට යොමුකර සිටි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඒ, ඔවුන්ට සිදුකළ පී සී ආර් පරීක්‍ෂණවලදීයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් මහාචාර්ය ජී එල් පීරිස්  සහ පවුලේ සාමාජිකයන් ඇතුළු කාර්ය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණා. 

මේ අතර හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ,  පාසල් වේලාව තුළදී හදිසියේ සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් එම සිසුවා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදීයි. 

ඒ අනුව සිසුවා ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 දෙනෙක්, ගුරුවරුන් 14 දෙනෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කළ බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර් ආර් එස් මැදවෙල ප්‍රකාශ කළේ. එම පාසල් සිසුවාගේ මවට ද කොරෝනා ආසාදනය වී ඇති බව පසුව සිදුකර තිබූ ඇන්ටිජන් පරීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද 57,000 ඉක්මවා ගියා. ඒ, අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් තවත්  කොරෝනා ආසාදිතයින් 353 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,216 ක්. එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 644 දෙනෙකු ද පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 49,261 ක්.