Saturday, May 4, 2024

General line - 0115112241

මූලධර්මවාදීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ අවධානයෙන් සිටින්නැයි බෞද්ධ උපදේශක සභාව ජනපතිගෙන් ඉල්ලයි




සියලුදෙනාගේ, සියලු අදහස්වලට උත්තරදීමට යාමෙන් වැඩ කිරීමට ඇති වටිනා කාලය අපතේ යන බව බෞද්ධ උපදේශක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අවශ්‍ය වන්නේ විවේචන සාධාරණව සලකා බලා ස්වකීය බුද්ධියෙන් රට මෙහෙයවීම බවයි බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ. ඊයේ පස්වරුවේ එම සභාව 08 වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේදී මෙම අදහස් පළ කෙරුණා.

ආණ්ඩුව පිළිබඳ නොයෙකුත් පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා සහ අපහාසවලින් අධෛර්මත් නොවී ඉතිරිව ඇති වසර තුන හමාරකට අධික ධූර කාලය තුළ ද ප්‍රතිපත්තිගරුකව රට පාලනය කරන ලෙසයි මහා සංඝරත්නය ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ. 

මූලධර්මවාදීන්ගේ වත්මන් ක්‍රියාකලාපය එහිදී බෞද්ධ උපදේශක සභාවේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා. අතීතයේ ඔවුන්ගේ  ග්‍රහණයට හසු කරගනු ලැබුවේ අසරණ දුප්පත් ජනතාවයි. වර්තමානයේ ධනවතුන්, බලවතුන්, ප්‍රසිද්ධ කලාකරුවන් සහ දේශපාලන නායකයන් පවා මූලධර්මවාදීන්ගේ ගොදුරු බවට පත්ව සිටීම දැඩි කණස්සලයට කරුණක් බව මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා. 

කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක නියෝජ්‍ය  විදුහල්පතිවරියක් ශිෂ්‍යාවන්, දෙමාපියන් ඇතුළු පිරිස් බලහත්කාරයෙන් මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට ගොදුරු කිරීමේ ප්‍රයත්නයක් සිදුව ඇති බවයි එහිදී මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ. 

බුද්ධ චරිතය, බෞද්ධ දර්ශනය, පුරාවිද්‍යාත්මක හා පෞරාණික ස්ථානවලට දෙන වැරදි අර්ථකථන නතර කිරීමේ අවශ්‍යතාව ද මහා සංඝරත්නය අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා බෞද්ධ ග්‍රන්ථ සහ ප්‍රකාශන නියාමන පනත මෙන්ම ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා. 

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.