Monday, May 13, 2024

General line - 0115112241

කෘඩියා සෙලනිකා ශාකය කපා ඉවත් කිරීමට කිසිසේත් සූදානමක් නැහැ - මහාමාර්ග අමාත්‍යාංශය




මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් හේතුවෙන් ආන්දෝලනයට තුඩු දී ඇති කෘඩියා සෙලනිකා ශාකය කපා ඉවත් කිරීමට කිසිසේත් සූදානමක් නොමැති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ආර් ඩබ්ලිව් ආර් ප්‍රේමසිරි පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙන බවයි.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සහ තවත් ආයතන ගණනාවක් සමග ඒ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පවත්වා ඇති බව ද මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා. විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ අදාළ ගස වෙනත් ස්ථානයක සිටුවීමට විරුද්ධත්වයක් නොමැති බව එම සාකච්ඡාවලදී ජාතික උද්භිද උද්‍යාන 
දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ගැටළුව මුල් කරගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීම අසීරු බවයි මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ. එලෙස යම් වෙනස්කමක් සිදු කරන්නේ නම් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 02 ක පමණ කොටසක වෙනස්කම් සිදු කිරීමට වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

අදාළ ස්ථානයේ එක් පසෙක දුම්රිය මාර්ගය පිහිටා තිබීම සහ එම මාර්ග කොටස කණු මත ඉදි කිරීමට සිදුවීම හේතුවෙන් සැලසුම් වෙනස් කිරීම වඩාත් අසීරු වී ඇති බව ද මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර් ඩබ්ලිව් ආර් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කළා.