Monday, May 13, 2024

General line - 0115112241

මීමුරේ එනසාල් වැවීම ගැන සොයන්න ආණ්ඩුවෙන් කමිටුවක්




මීමුරේ ආශ්‍රීත ප්‍රදේශයේ එනසාල් වගාව සම්බන්ධයෙන් විමර්ශනය සදහා කමිටුවක් පත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යවරයාට පවරා ඇති බවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මහනුවර උඩුදුම්බර මීමුරේ ගම්මානයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට සමගාමීවයි. එහිදී මෙම ප්‍රදේශයේ ගම්මිරිස් වගාවේ ඵලදාව අඩුවීම පිළිබඳ සොයා බැලීමට ද තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ලෝක උරුමයක් වන නකල්ස් රක්ෂිතයේ හදවත ලෙස ද මීමුරේ ගම්මානය සැලකෙනවා. වී ගොවිතැන මෙම ගම්වැසියන්ගේ ප්‍රධාන ජිවනෝපාය වන අතර තවත් පිරිසක් ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වගාවෙහි හා කිතුල් ආශ්‍රීත කර්මාන්තවල ද නිරතව සිටිනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා මීමුරේ ප්‍රදේශය සතුව ඇති විභවතාව කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි. කදු නැගීම ඇතුළු සංචාරක ක්‍රියාකාරකම් සහ සංචාරකයන්ට ආකර්ශණීය ස්ථාන හඳුනා ගැනීම ද ඒ අතරට අයත්. ප්‍රදේශයේ ඉඩම් ගැටළුට කඩිනම් විසඳුම් දීමටද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.