Monday, May 13, 2024

General line - 0115112241

විදෙස් සංචාරකයින්ට පනවා තිබූ නිරෝධායන රෙගුලාසි ලිහිල් කෙරේ




මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පනවා ඇති ඇතැම් දැඩි රෙගුලාසි කිහිපයක් ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ ලබා ගනිමින් රෙගුලාසි ලිහිල් කිරීමට හැකි බවට හඳුනාගෙන ඇති බවයි. සංචාරක නියමු ව්‍යාපෘතියේදී හඳුනාගත් ඇතැම් ගැටළුවලට විසඳුම් ලබා ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කලා.

නියමු ව්‍යාපෘතිය ජනවාරි මාසයේ 31 වෙනකම් ක්‍රියාත්මක කළා. එහිදී යුක්රේන ජාතිකයින් වෙනුවෙන් පමණක් නොවේ වෙනත් රටවල සිටත් මෙරටට සංචාරකයින් පැමිණියා. එහිදී අප සොයා ගනු ලැබුවා අපගේ තිබෙන අඩුපාඩු මොනවාද කියා. එම අඩුපාඩු සඳහා අවශ්‍ය පිළියම් යොදන්නත් අපිට හැකියාව ලැබුනා. විශේෂයෙන් කිව්වොත් මුහුදු වෙරළ තිරයේ සිටින හෝටල් වල සිට නුවර තියෙන හෝටලයක් කරා යන විට ඔවුන්ට වැසිකිලි යාමට හෝ තේ පානය කිරීමට ඉඩ ලබාදිය යුතුයි. එහිදී අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ජා කරලා තීරණයක් ගනු ලැබුවා ඔවුන් ගමන් කරනු ලබන මාර්ගය අනුව යම් ස්ථානයක් තෝරා ගෙන ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජා කොට අවශ්‍ය පහසුකම් සැපයීමට එහිදී තීරණය කළ බවයි ලේකම්වරයා සඳහන් කළේ. 

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ සංචාරකයින් රැදී සිටින හෝටල්වල සේවකයින් නිරෝධායනය විය යුතු කාල සීමාව සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇති බවයි. එබැවින් කිසියම් හෝටලයක රැදී සිටින සංචාරකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති නම් එම සංචාරකයින් හෝටලයෙන් පිටව ගොස් තවත් දින 14ක් හෝටල් සේවකයින් එම හෝටලයේම නිරෝධායනය විය යුතු බවට ඇති රෙගුලාසි ලිහිල් කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව ඔහු කියා සිටියා. 

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින් ඉල්ලා සිටියා තමන් සමග පැමිණෙන කුඩා දරුවන්ගේ PCR පරීක්ෂණ සිදුනොකරන්න කියලා. ඔවුන් එහිදී කියා සිටියා තමන්ව PCR පරීක්ෂණ සඳහා ලක්වන බැවින් එහිදී තම දරුවන්ව පරික්ෂා කිරීම අවශ්‍ය නොවන බවයි. ඒ අනුව අපි තීරණය කළා වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ PCR පරීක්ෂණ සිදුනොකරන්න, අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවයි ඔහු කියා සිටියේ.