Thursday, May 16, 2024

General line - 0115112241

ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරුපදිකරුවන්ට සහනයක් 

අධිකරණ වාර්තාකරු




යතුරු පැදිකරුවන් විසින් ෆුල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීම සදහා පොලිස්පතිවරයා නිකුත් කළ උපදේශන චක්‍රලේඛණය නීත්‍යානුකූල නොවන බැවින් එය ක්‍රියාත්මක නොකරන ලෙසට පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අභියාචනාධිකරණයට දැනුම් දී සිටියා.

නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

ඒ අනුව බලධාරීන් විසින් ෆුල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගැනීම වලකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු  විසින් ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ දී ඉල්ලා අස්කර ගනු ලැබුවා.

මෙම පෙත්සම  අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මයාදුන්න කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබුවා.

මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බව පෙත්සම්කරු පවසා සිටියි.

2017 වසරේ නිකුත් කළ  අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තුව මගින් අනුමත කර නොමැති බව සිය පෙත්සම මගින් පවසා සිටියා.