Saturday, May 18, 2024

General line - 0115112241

පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති සිසුවෙකුට පහරදීම ගැන සොයන්න පොලිස්පති නියමයෙන් කණ්ඩායම් 02 ක්




පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් කණ්ඩායම් 02 ක් පත් කර තිබෙනවා. පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඞී එස් වික‍්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ ඉන් එක් කණ්ඩායමක් විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

කැළණිය කොට්ඨාසයේ රාජකාරී කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුමිත් ගුණරත්නගේ අධීක්ෂණය යටතේ තවත් කණ්ඩායමක් විමර්ශන සිදු කරන 
බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළා. 

සිද්ධියට සම්බන්ධ පෑලියගොඩ පොලිස් ස්ථානයට අනියුක්ත ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ සේවය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. 

විදේශීය ජාතික කාන්තාවන් 06 දෙනෙකු, මෙරට පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින බවයි පොලිසිය පවසන්නේ. ඒ, මූල්‍ය වංචාවක් සිදු කිරීම සහ හෙරොයින් ග‍්‍රෑම් 25 යි මිලිග‍්‍රෑම් 120 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා කඩදාසි තොගයක් ළඟ තබාගැනීම හා වාණිජමය ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාවලට අදාළවයි. 

එම සැකකරුවන් අතර සිටින මෙරට කාන්තාව බැලීම සඳහා ඉකුත් 23 වනදා රාත‍්‍රී 08.35 ට පමණ කිසියම් අයෙකු පැමිණ ඇති බවත්, පසුව ඔහු මිගාර ගුණරත්න නැමැත්තා බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. 

එම අවස්ථාවේ ඇතිවූ සිද්ධියකින් මිගාර ගුණරත්න තුවාල ලබා ඇති බව ද පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් එවා ඇති සිද්ධිමය කරුණු වාර්තාවේ දැක්වෙන බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක සඳහන්. 

මෙම සිද්ධියේදී පහර කෑමට ලක්ව ඇත්තේ හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත‍්‍රී ගුණරත්නගේ පුත‍්‍රයායි.