Sunday, May 19, 2024

General line - 0115112241

පස්සර අනතුරින් පසු වත්මන් රියදුරු බලපත්‍රයට මගී ප්‍රවාහනය තහනම්




දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවයි. ඒ සඳහා මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදෙන බවත් සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් දෙන බවත් ඔහු කියා සිටියා. 

මේ අතර මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා සහ ටිපර් රථ රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

මේ අතර පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුරක් සිදු වූ මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටී ඇති ගල් පර්වත කොටස කඩිනමින් ඉවත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. 
නෙත් නිවුස් ඊයේ අනාවරණ කළේ මෙම ගල් පර්වත කොටස අනතුර සිදු වූ පස්සර 13 කණුව ප්‍රදේශයට පෙරලි ඇත්තේ මීට මාස 06කට පමණ පෙරයි.

එහෙත් එය මේ දක්වා මාර්ගයෙන් ඉවත් කර නැහැ. කෙසේවෙතත් බස් රථය ප්‍රපාතයට පෙරලුනු එම ස්ථානයේ කිසිදු ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ඊයේ දක්වාම සිදු කර නොතිබුණු බවයි නෙත් නිවුස් එහිදී හෙලි කළේ. එහෙත් අද වන විට අනතුර සිදු වූ පස්සර 13 කණුව ප්‍රදේශයට යකඩ බට යොදා ආරක්ෂිත වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබුණා.