Sunday, May 19, 2024

General line - 0115112241

පාකිස්ථාන ජාතික දිනය සැමරීම වෙනුවෙන් විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්වෙයි  (PHOTOS)




පාකිස්තාන යුද්ධ හමුදාධිපති ජෙනරල් ජාවඩ් බජ්වා (Javed Bajwa) ගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස පාකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (19) දින පාකිස්තානය වෙත ලඟා වුවා. එරට සංචාරයේ නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි (Arif Alvi) අතර සුහද හමුවක් ද එරට ජනාධිපති මන්දිරයේදී පවත්වනු ලැබුවා.  

ප්‍රථමයෙන්ම තමන් වෙත ආරාධනා කිරීම සබැඳිව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානු ත්‍රිවිධ හමුදාවට සිය ස්තූතිය පළකල අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සිය සුභපැතුම් ද පුදකරනු ලැබුවා.

පකිස්තානයෙන් එරට ජාතික දිනය සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස ආරාධනා ලැබූ ප්‍රථම හමුදා නිළධාරියා වන්නේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වායි.

ලෝකයේ ත්‍රස්තවාදය මැඩපැවැත්වූ එකම රට ශ්‍රී ලංකාව බව පැවසූ පාකිස්තාන ජනාධිපතිවරයා පාකිස්තානය ද එවැනිම ආකාරයට කටයුතු කරන බව සඳහන් කර සිටියා. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන එන චෝදනා වලට පාකිස්තානය එදා මෙන් අදත් විරුද්ධව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හෙලාදකින ඔහු අනාගතයේදී ආරක්‍ෂක, සංචාරක, සමුද්‍රීය ආරක්‍ෂාව, අධ්‍යාපනය, පරිසරය සහ වෙළඳ හා ආර්ථික ක්ෂේත්‍රයන් වලදී දෙරට සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. කොවිඩ් - 19 වසංගතයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් පිළිබඳ එතුමන් ශ්‍රී ලංකාව ප්‍රශංසාවට ලක් කරමින් මේ වනවිට සිදුකරනු ලබන කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ සාර්ථකත්වය පිළිබඳ ඇගයීමට ලක් කර සිටියා.

එරට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට තෙවරක් පැමිණි බව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, අනුරාධපුර ඓතිහාසික පුදබිමේ සංචාරය කළ අවස්ථාව ද සිහිපත් කරන ලදී. අනාගතයේදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්‍ෂා කරන බව පැවසූ එතුමන් පාකිස්තානයේ ඇති බෞද්ධ ස්ථානවල සංචාරය කිරීමට ශ්‍රී ලාංකීය ජනතාවට ආරාධනා කර සිටියා. එමෙන්ම වාණිජ, ක්‍රීඩා, අධ්‍යාපනය, පරිසර සංරක්‍ෂණය වැනි ක්ෂේත්‍ර ‘SAARC’ රටවල් අතර වර්ධනය කරගැනීමට සියලුම දෙනා එක්ව කටයුතු කල බව පවසා සිටියා.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් 1980 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්වල යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම කොන්දේසි විරහිතව කටයුතු කර ඇති බව පැවසුවේය. දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාවය නිසා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ‘Shake Hands’ යුද අභ්‍යාසය මගින් ඔවුන්ගේ වෘත්තීය දැනුම හා කුසලතාවයන් පුළුල් කරගැනීමට හැකි වී තිබෙන බවත් එතුමන් ප්‍රකාශ කරන ලදී.

පාකිස්තාන ජනාධිපති සමඟ අදහස් හුවමාරු කරගනිමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානය සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකික මිතුරෙකු ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එල්ල කරන අභූත චෝදනා වලට එරෙහිව කටයුතු කිරීම අතීතයේදී, වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද අප විසින් සිහිපත් කරන බව පැවසීය.    

පාකිස්තානු ජාතික දින ඒකාබද්ධ යුද පෙළපාලිය මාර්තු මස (23) දින පැවැත්වීමට නියමිතය. පාකිස්තානයේ අපේක්‍ෂාවන්, ජයග්‍රහණයන් නිරූපණය කරමින් පැවැත්වීමට නියමිත මෙම පෙළපාලියට පාකිස්තාන අගමැති, ජනාධිපති සමඟින් දේශිය හා විදේශිය රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් සහභාගී වීමට නියමිතය.