Friday, May 3, 2024

General line - 0115112241

විස පොල්තෙල් ගැන අවසන් තීරණය ලබන සතියේ




වෙළදපොලේ ඇති පොල්තෙල්වල පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත් දැයි සොයා බැලීම සදහා සිදු කරන පරීක්ෂණවල වාර්තා ලබන සතියේදී ලැබෙනු ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඔවුන් කියා සිටියේ දැනටමත් බස්නාහිර පළාතේ සාම්පල පරීක්ෂණ වෙත යොමු කර ඇති බවයි.

ඉදිරියේදී සෙසු දිස්ත්‍රික්කවල පොල්තෙල් සාම්පල ලබා ගනිමින් පවතින බවයි  පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේ. මෙහිදී සාම්පල ලබා ගන්නේ විකිණීම සඳහා ඇති බෝතල් නොකරන ලද පොල්තෙල්වලින්. 

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්‍ෂ අසේල බණ්ඩාර කියා සිටියේ මෙරටට ආනයනය කර ඇති බවට හදුනාගත් පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත පොල්තෙල් වෙළද පොලට මුදාහැර නොමැති බවට දැනට තහවුරු කළ හැකි බවයි. මේ වන විට සිදු කරන සාම්පල් පරීක්ෂාවේදී එය වඩාත් තහවුරු වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් වෙළදපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල මෙලෙස යොමු කර ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියටයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ දසිත නිරෝෂණ පැවසුවේ දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් පරිභෝජනයට මහජනතාව බිය විය යුතු නොමැති බවයි.