Thursday, May 9, 2024

General line - 0115112241

පුද්ගලයෙකුගේ ගෙල කපා ඝාතනය කොට අඹුසැමි යුවළක් පොලිසියට බාරවෙයි




සීගිරිය නව නගරය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් 30 දින අලුයම සීගිරිය පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

තියුණු ආයුධයකින් ගෙල කපා දැමීමෙන් මෙම ඝාතනය සිදු කොට ඇතැයි පොලීසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි සීගිරිය පොලිසිය පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගුවන් හමුදා සෙබලෙකු සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධය ද සමඟ 30 දින අළුයම සීගිරිය පොලිසියට භාර වී ඇතැයි සීගිරිය පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ නෑ බැට, අලුත්ගම ,මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු බව හා හඳුනාගෙන තිබෙනවා.

පොලිසියට භාර වී ඇති සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන අයෙකු සහ ඔහුගේ බිරිඳ සීගිරිය නව නගරය ආසන්නයේ කුලී නිවසක පදිංචිව සිට ඇතැයි පොලිසිය පවසනවා.

කාලයක් තිස්සේ ගුවන් සෙබලාගේ බිරිද සමග මියගිය පුද්ගලයා ඇසුරක් පවත්වා තිබෙන බවත් එම ඇසුර නිසාම මැල්සිරිපුර ප්‍රදේශයේ සිට ගුවන් හමුදා සෙබලා නිවසක් කුලියට ගෙන දරුවන් දෙදෙනාත් සමඟ සීගිරියේ පදිංචියට පැමිණ දින පහළොවකට ආසන්න දින ගණනක් වන බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

දිගින් දිගටම තමන්ට කරදර කිරීම් හේතුවෙන් මෙම ඝාතනයය සිදු කොට ඇති බව පොලිසියට බාර වූ යුවල ප්‍රකාශ කොට ඇතැයි පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයන් රැඳී සිටි බව කියන නිවස ද පොලිසියේ දැඩි පරීක්ෂාවට ලක්විය.

නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් සීගිරිය පව්ව ආසන්නයේ ප්‍රධාන මාර්ගය අසල ගෙළ කපා ඝාතනය කොට තිබූ පුද්ගල මළ සිරුරු සොයාගත් බවයි  පොලීසිය ප්‍රකාශ කළේ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් කියා සිටියේ මියගිය පුද්ගලයා සහ ඝාතනයට බාර වූ කාන්තාව අතර වසර ගණනාවක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවයි.

මීට ඉහතදී මෙම මියගිය තරුණයා ගුවන් හමුදා සෙබළාගේ බිරිද සමග වෙනත් ප්‍රදේශයකට පැනගොස් සිටි බවත් පසුව නැවත පොලිසිය හරහා සාමදාන වී පැමිණි බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ , ඇයගේ මවගේ නිවසේ දරුවන් සමග රැඳී සිටින බවත් මෙම මියගිය පුද්ගලයා තනිවම නිවසේ රැඳී සිටි ඇති බවත් ඥාතීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත් මෙම කාන්තාව විසින් ඝාතනය සිදු කළේ ද එසේත් නොමැති නම් ගුවන් හමුදා සෙබලා විසින් ඝාතනය සිදු කළේ ද එසේත් නොමැති නම් දෙදෙනා විසින් එකතු වී මෙම ඝාතනය සිදු කළේ ද යන්න විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පවසනවා.