Friday, May 3, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් පසු සොයා ගත් කඩු හා වෙනත් ආයුධ ආනයනය කිරීම ගැන වෙනම පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් සිදුකරනවා : නීතිපති අධිකරණයට දැනුම් දෙයි 

අධිකරණ වාර්තාකරු




පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සොයා ගත් කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කිරීමට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයකුගේ මෙහෙයවීමෙන් වෙනම පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම පොලිස් කණ්ඩායම පත් කර ඇති බවත් එම පරීක්ෂණ නීතිපතිවරයාගෙ සෘජු අධීක්ෂණය යටතේ සිදු වන බව ජේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මෙම ආයුධ තොග සම්බන්ධයෙන්  පරීක්ෂණ නිසි ආකාරයට සිදු නොකිරීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොනු කළ රිට් පෙත්සමට අදාළව නීතිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. මෙම පෙත්සම යළි මැයි මස 6 දා කැඳවීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්න කොරෙයා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සිය රිට් පෙත්සමෙන් පවසා සිටින්නේ මෙම ආනයනය කරන ලද කඩු හා වෙනත් ආයුධ මෙරටට ආනයනය කළේ කවුරුන්ද ඒ සදහා අරමුදල් ලැබුණු ආකාරය පිළිබඳ කිසිදු කරුණු අනාවරණයක් සිදු කර ගැනීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.