Friday, May 10, 2024

General line - 0115112241

කොවිඩ් නිසා ප්‍රංශයේ පාසල් සති 03 කට වැසේ




ප්‍රංශයේ සියලු පාසල් අවම වශයෙන් සති 03 ක කාලයකට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. එරට රූපවාහිනී නාලිකා ඔස්සේ ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රංශයේ ක්‍රියාත්මක නව රෙගුලාසි යටතේ එම පියවර ගන්නා බවයි. ඒ අනුව ලබන සතියේ සිට දුරස්ථ ඉගැනුම් ක්‍රමවේදය යටතේ පාසල්වල වැඩ කටයුතු සිදු වන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

මේ මස මුලදී ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට පමණක් පනවා තිබූ අගුලු දැමීමේ පියවර මේ වනවිට අනෙකුත් නගර දක්වා ද දීර්ඝ කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි එරට අත්‍යාවශ්‍ය නොවන සියළු වෙළදසැල් තාවකාලිකව වසා දැමීමට නියමිතයි. එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවකට හැර වෙනත් කිසිදු කරුණක් හේතුවෙන් පුද්ගලයින්ට සිය නිවසේ සිට කිලෝ මීටර් 10 කට වඩා දුරක් ගමන් කළ නොහැකි වනවා.

මේ වනවිට ප්‍රංශයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතරින් සිව්වන ස්ථානයේ පසුවන ප්‍රංශයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හතළිස් හයලක්ෂ 2,516 ක්. එරටින් සමස්ත කොරෝනා මරණ 95,337 ක් ද වාර්තා වනවා.