Tuesday, May 7, 2024

General line - 0115112241

ගම සමග පිළිසඳරේ ප්‍රගතිය සොයන්න අලුත් කණ්ඩායමක්




ගම සමග පිළිසඳර ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් එම කාර්යය සාධක බලකායට රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්. 

ගම සමඟ පිළිසඳර වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම හා ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙහෙයවීම මෙන්ම පසු විපරම සඳහා ජනාධිපතිවරයා විසින් එම කාර්යය සාධක බලකාය පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, සීතා අරඹේපොල, චන්න ජයසුමන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කපිල අතුකෝරාල, සංජීව එදිරිමාන්න, නිපුන රණවක, චාමර සම්පත් දසනායක, ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, චින්තක මායාදුන්නේ සහ ජයන්ත වීරසිංහ ද එම කාරය සාධක බලකායට ඇතුලත්.

ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න හා ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වෙනත් සියලුම ආයතන ප්‍රධානීන් ද ඇතුළුව ප්‍රාදේශීය මට්ටමේ සියලු නිලධාරීන් සේවා අවශ්‍යතාව මත මෙහෙයවීම කාර්ය සාධක බලකායේ මූලික වගකීමක් වනවා.
ප්‍රාදේශීය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල ජාතික මට්ටමේ රාජ්‍ය ආයතන මගින් 2021 - 2023 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන මාර්ග, පානීය ජල සම්පාදනය, විදුලි, දුරකථන සන්නිවේදන, ක්‍රීඩා පිටි, පාසල්, රෝහල්, වෘත්තීය අධ්‍යාපන ආයතන, නාගරික විශ්වවිද්‍යාල, ඉඩම් පැවරීම්, බැංකු හා මූල්‍ය පහසුකම්, වෙළෙඳපොළ, ගබඩා හා යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම බලකායට පවරා තිබෙනවා. 

රාජ්‍ය ආයෝජන වැඩපිළිවෙළ යටතේ දේශීය හා විදේශීය අරමුදල් ඇතිව ක්‍රියාත්මක සියලුම ව්‍යාපෘතීන් ඉලක්ක කාලසීමාව තුළ ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරවීම කාර්ය සාධක බලකායෙන් අපේක්ෂා කෙරෙන තවත් අරමුණක්. යම් රාජ්‍ය සේවකයෙකු, අමාත්‍යංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාව හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරිය කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන්නැයි ජනාධිපතිවරයා, කාර්ය සාධක බලකායට නියම කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේ.