Thursday, May 16, 2024

General line - 0115112241

මෛත්‍රී ඇතුලු නිදහස් පක්ෂ කණ්ඩායමක් අගමැති නිවසට




හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇතැයි වාර්තා වනවා. ඒ, කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදීයි. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බවට වාර්තා පල වනවා.

මේ අතර ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවට පසුබිම සකස් කර තිබුනේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. සාකච්ඡාව පවත්වා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දීයි. එහිදී ගත් තීරණ ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලබා දෙන බවයි ඊට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් ඊට එක්ව සිටියා. ඔවුන් කියා සිටියේ රජයේ ස්ථාවරත්වය පදනම් කරගෙන පමණක් එම සාකච්ඡාව සිදු කළ බවයි.

එහිදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර පළාත් සභා මැතිවරණයේදී එක් ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයින් තිදෙනෙකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම අකමැති වී ඇති බවද වාර්තා වනවා.