Sunday, May 19, 2024

General line - 0115112241

ආනයනික ආහාර ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට පාර්ලිමේන්තුවෙන් උපදෙස්




ආනයනික ආහාරවල හානිකර ද්‍රව්‍ය අඩංගුදැයි පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. පොල්තෙල් වැනි මෙරටට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් එවැනි ආනයනික ආහාර ද්‍රව්‍ය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි රජයේ ගිණුම්කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් වැඩි කළ යුතු අතර ආහාර සුරක්ෂිතතාවයට අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බව ද එම කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා. 

රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමානයේදී ගැටළු රැසක් උද්ගතව පැවතීම ද එම කාරක සභාවේදී අවධානයට ලක්ව තිබෙනවා. 2017, 2018 වසරවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රජයේ ගිණුම්කාරක සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡාවට ගැනුණු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළා.