Monday, May 20, 2024

General line - 0115112241

වරාය නගර පනත් කෙටුම්පතෙහි ව්‍යාපාරික කටයුතුවලට අදාළ නියාමන නීති බැහැර නොකරන බවට දැනුම් දෙයි




කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත තුලින් ව්‍යාපාරික කටයුතු වලට අදාළ දැනට පවතින නියාමන නීති බැහැර කිරීමක් සිදු නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඇය මේ බව පවසා සිටියේ වරාය නගර ආර්ථික කොමිසන් පනතට අදාළව සිදු කිරීමට නියමිත සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙමින්.

පනත් කෙටුම්පතෙහි 3 වන වගන්තිය තුළින් අරමුණු කරන්නේ විදේශ ආයෝජකයන් සදහා අවශ්‍ය පහසුකම් සැලසීමේදී විවිධාකාර ආයතන හරහා කාලය අපතේ යවනවා වෙනුවට එක් ස්ථානයකින් ලිහිල්ව කර දීම බව ජමීල් මහත්මිය පවසා සිටියා .

මෙම ක්‍රියාවලිය මගින් පවතින රෙගුලාසි බැහැර කිරීමක් නව පනත් කෙටුම්පතෙන් යෝජනා කර නොමැති බව ඇය වැඩිදුරටත් පවසා සිටියා .

ඒ අනුව සමාගම් ලියාපදිංචි කිරීම ඒ සදහා බලපත්‍ර ලබා දීමට අමතරව මෙම ව්‍යාපාර කටයුතු නියාමනය කිරීම ද වරාය නගර ආර්ථික කොමිසම වෙත පැවරෙන බව ජමීල් මහත්මිය පවසා සිටියා .

ඒ අනුව පනත් කෙටුම්පතෙහි 7(1) වගන්තිය අනූව කොමිෂන් සභාවේ සාමාජිකයන් බහුතර ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත විය යුතු බවට සංශෝධනය කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියා .

මේ අතර පනත් කෙටුම්පතෙහි 3(6),  6(1) (b), 6(1) (n), 68(1), 68(3) ඇතුළු වගන්ති කිහිපයක් සංශෝධනය කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පවසා සිටියා .

අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සිය වැඩිදුර වාචික දේශන අගවිනිසුරු ජයන්ත ජයසූරිය , විනිසුරු බුවනෙක අලුවිහාරෙ , විනිසුරු  ප්‍රියන්ත ජයවර්ධන, සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ජනක් ද සිල්වා  යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඉදිරිපත් කරමින් සිටියි .  

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා මේ වන විට සමගි ජනබලවේගය , ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් 19 ක් විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර ඇත.

ඇමති මහාචාර්ය ජි.එල්. පීරිස් , ජනාධිපති ලේකම් පි.බී. ජයසුන්දර , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් , ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා , කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ඇතුළු පාර්ශවයන් 11 ක් අතරමැදි පාර්ශවයන් ලෙසට  පනත් කෙටුම්පතට පක්ෂව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය .