Sunday, May 19, 2024

General line - 0115112241

එළඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව නිසා කොරෝනා අවදානමක් - හමුදාපති




එළඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව රටේ කොරෝනා තත්ත්වය තවත් වැඩි කරන සති අන්තයක් බවට පත්වීමේ අවදානමක් ඇති බැවින් විමසිල්ලන් කටයුතු කරන්නැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා ද වන යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ එළඹෙන සති අන්තයේදී හැකිතාක් නිවෙස්තුලටම වී කටයුතු කිරීම වැදගත් බවයි.

යුද්ධ හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ මීට පෙර මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ හා මේවනවිට වාර්තා වෙමින් ඇති ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ අතර කැපී පෙනෙන වෙනස්කම් ඇති බවයි. මීට පෙර කොරෝනා ආසාදිතයින් බහුතරයක් වාර්තා වූයේ රෝග ලක්ෂණ පෙන්වීමකින් තොරවයි.

ඒ අනුව ඔවුන් රෝහල්ගත නොකර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තැබුවා.

එහෙත්, මේවනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් රෝග ලක්ෂණ යම් තාක් දුරට උත්සන්නවීමෙන් පසුව වාර්තා වෙමින් ඇතැයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවා.

මාස 02 කට පසු මේවනවිට මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 672 දෙදෙනාගෙන් බහුතරය වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

කුරුණෑගල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ද කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේවනවිට රට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද පෙරවරුවේ රැස්වුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි. මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවට පෙර නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ යළිත් සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය කරනු ඇති බවයි.

එහිදී බොහෝ විට ජනතාව ඒකරාශීවන උත්සවයක් හෝ කිසිදු කටයුත්තක් සදහා අවසර ලබා නොදෙනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

මේ අතර සෞඛ්‍ය අංශ පැවසුවේ පළාත් අතර ගමාගමනයට සීමා පැනවිය යුතු බවට මෙම සාකච්ඡාවේදී යෝජනා කරනු ඇති බවයි.

එමෙන්ම පැවැත්වීමට නියමිත ක්‍රීඩා තරග ඉසව් අවලංගු කරනු ඇති බවට ද සෞඛ්‍ය අංශ අනුමාන කරනවා.