Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනාවෙන් බැටකන ඉන්දියාවට රටවල් රැසක සහය




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඉන්දියාවට සහය පළ කිරීම සඳහා රටවල් කිහිපයක්ම එක්ව සිටිනවා. ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා උප ජනාධිපති කමලා හැරිස් මෙම අසීරු අවස්ථාවේදී ඉන්දියාවට සහය පළ කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

ට්විටර් පණිවිඩ නිකුත් කරමින් ඔවුන් දෙපළ පැවසුවේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක සැපයුම් හා උපකරණ කඩිනමින් ඉන්දියාවට ලබා දෙන බවයි. කොවිඩ් වසංගතයේ මුල් අවදියේදී අමෙරිකාව පීඩාවට පත්වූවිට ඉන්දියාව ඔවුන්ට ආධාර පිරිනැමුවා සේම, ඉන්දියාවට අවශ්‍ය වේලාවට උපකාර කිරීමටත් අමෙරිකාව සූදානම් බවයි ඔවුන් පැවසුවේ. 

මේ අතර බ්‍රිතාන්‍යයද ද ඉන්දියාව වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. එලෙස පරිත්‍යාග කෙරුණු ද්‍රව්‍ය අතරට ශ්වසන ආධාරක කට්ටල තොගයක් ද ඇතුළත්. එම උපකරණවලින් තොගයක් හෙට දිනයේදී ඉන්දියාවට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. මිත්‍රශීලී රටක් වන ඉන්දියාව සමග මෙම අසීරු අවස්ථාවේදී එක්ව සිටින බව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා. 

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඉන්දියාවට සහය පළ කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඊයේ රාත්‍රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ගොඩනැගිලි රැසක් ඉන්දියාවේ ජාතික ධජයේ ඇතුළත් වර්ණ ත්‍රිත්වයෙන් යුත් විදුලි බුබුළු මගින් අලෝකමත් කර තිබුණා. ඒ අතරට ඩුබායි හි පිහිටි බර්ජ් කළීෆා ගොඩනැගිල්ල ද අයත්. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එමගින් ඉන්දියාවට පැවසුවේ මෙම අසීරු අවස්ථාවේදී පවා ශක්තිමත්ව සිටින ලෙසයි. 

කෙසේවෙතත්, එමීර් රාජ්‍යය මේවනවිටත් ඉන්දියාවෙන් පැමිණෙන සියලු සංචාරකයින් රටට ඇතුළුවීම වළක්වාලමින් දින 10 ක තහනමක් පනවා තිබෙනවා. එලෙස ඉන්දියානු සංචාරකයින්ට සීමා පනවා ඇති රටවල් අතරට බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, නවසීලන්තය, හොංකොං රාජ්‍යය, ඕමානය සහ පකිස්තානය ද ඇතුළත්.