Saturday, May 4, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිත ඥාතින් ප්‍රතිකාර නොලබා මියයන තැන, වේදනාව දරාගත නොහැකිව ඉන්දියානුවන් වෛද්‍යවරුන්ට පහර දෙති (PHOTOS/VIDEOS)




කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස පීඩා විදින ඉන්දියානු ජනතාව මේවන විට වෛද්‍යවරුන්ට පහර දීමට ද පෙළඹී සිටින පුවතක් එරටින් වාර්තා වනවා. 

දිල්ලි හි පිහිටි ඇපලෝ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ආ 67 හැවිරිදි කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයේ ඇඳක් නොලැබීම නිසා මිය ගොස් තිබුණා. 

සිය ඥාතියාට ප්‍රතිකාර නොලබාම ජිවිතයෙන් සමුදීමට සිදුවීම නිසා කෝපයටත් වේදනාවටත් පත්වූ ඥාතියෙකු ලීයක් ගෙන රෝහලේ ආරක්ෂකයින්, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට පන්න පන්නා පහරදෙන අයුරු ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා.

පහරදීමෙන් රෝහලේ සේවකයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර පවතින අධික රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් ඔවුන් යලි සේවයට එක්වූ බවයි දිල්ලියේ පිහිටි ඇපලෝ රෝහලේ බලධාරීන් සඳහන් කලේ.

මේ අතර මිට දින කිහිපයකට පෙර පුනේ  හි රෝහලකදී 65 හැවිරිදි කොවිඩ් ආසාදිතයෙකු මියයාමේ සිද්ධියක් නිසා කෝපයට පත්වූ පුද්ගලයෙකු විසින් වෛද්‍යවරයෙකුට පහර දෙන අයුරු වීඩියෝවක සටහන්ව තිබුණා. 

පිට පිට පස්වන දිනයටත් ඉන්දියාවෙන් අඛණ්ඩව කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 03 ඉක්මවා වාර්තා වුවා. ඒ ඊයේ (26) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 323,000ක් සහ මරණ 2,700ක් ලෙසින්.

මේ අතර ඉදිරි සති 02 ක ඉතාමත් තීරණාත්මක බව ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටිනවා. ඒ මේ වන විට වාර්තා වන ආසාදිතයින් සහ මරණ අභිබවා දෛනිකව ආසාදිතයින් වාර්තා වීමේ හැකියාවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

" ඉදිරි සති 02ක සැබවින්ම ඉන්දියාව මිහිපිට අපායක් ලෙස දිස්වනවා නොඅනුමානයි. අප තවමත් මේ දෙවන කොවිඩ් රැල්ලේ උච්ජතම තැනට ඇවිත් නැහැ. නමුත් රටක සෞඛ්‍ය අංශ ලෙස අප මේ වන විටත් හෙම්බත්වී අවසන්" කොවිඩ් ව්‍යාප්තියෙන් දැඩිව බැට කන දිල්ලි හි ප්‍රධාන රෝහලක වෛද්‍යවරයෙකු ලාන්ස් පින්ටෝ විදෙස් මාධ්‍ය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල 541ක් ඇති අතර එහි වෛද්‍ය සිසුන් 36,000කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරනු ලබනවා. මේ වන විට එම සිසුන්ද කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම් සඳහා රෝහල් වෛද්‍යවරුන්ගේ සහයට කැඳවා ඇත.