Wednesday, May 15, 2024

General line - 0115112241

තනි මාත්‍රාවේ එන්නතක් ගෙන්වීමට ශ්‍රී ලංකාවේ අවදානය




මාත්‍රා 02 ක් ලබා දෙනවා වෙනුවට එක් මාත්‍රාවක් පමණක් ලබාදිය හැකි එන්නතක් ඉදිරියේදී මෙරටට ගෙන්වීමට අවදානය යොමුව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ස්පුට්නික් ලයිට් ලෙස නම් කර ඇති මෙම එන්නත ගෙන්වා ගැනීමට නියමිත බවයි. 

මෙරට ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩසටහන් අද දිනයේද බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදු කෙරුණා. පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු රටට වාර්තා කරන මාධ්‍යවේදීන්ට ද සයිනොෆාම් එන්නත ලබාදීම අද දිනයේ සිදුවුණේ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේදීයි. මේ, එම අවස්ථාවට එක්වූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර. 

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව අද වනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව නව ලක්ෂ 25,242 ක්. එහි දෙවන මාත්‍රාව දෙලක්ෂ 41,000 කට වැඩි පිරිසකට ලබාදී තිබෙනවා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ද මේවනවිට දෙලක්ෂ 14,000 කට වැඩි පිරිසකට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. මෙරටට ගෙන්වූ ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු මාත්‍රා තොගය මේවනවිට ලබාදී අවසන්. 

මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව සමග අමෙරිකානු ඩොලර් මිලියන 80 යි දශම 5 ක ගිවිසුමකට ශ්‍රී ලංකා රජය අත්සන් තබා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ බස්නාහිර පලාතෙන් පසු මහනුවර, කුරුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්කවල කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවයි.