Thursday, May 16, 2024

General line - 0115112241

නව පත්වීම් ලද හෙදියන්ට කඩිනමින් කොරෝනා මර්ධන එන්නත ලබාදෙන්නැයි ඉල්ලීමක්




නව පත්වීම් ලද හෙද හෙදියන් සදහාද කඩිනමින් කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශය වසංගත රෝග විද්‍යා අංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේවෙතත් ඊට මෙතෙක් ප්‍රමුඛතාව ලබාදී නොමැති බවයි වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩල පවසන්නේ.

නව පත්වීම් ලද හෙද හෙදියන් 2,000 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් කිසිවෙකුට මෙතෙක් කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබාදී නොමැති බවයි පැවසෙන්නේ. එම සියලු දෙනට ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශය වසංගත රෝග විද්‍යා අංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අයි ඩී එච් රෝහලේද නව පත්වීම් ලද හෙද හෙදියන් 30 කට අධික පිරිසක් සේවය කරනු ලබනවා. ගොතටුව ප්‍රදේශයේ ජනතාවට ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදුන් අවස්ථාවේ එම හෙද හෙදියන්ට එන්නත ලබාදීමට හැකියාව තිබූ බවයි වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලය පවසන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නව පත්වීම් ලද හෙද හෙදියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන ලෙස දැනුම් දුන්නද වසංගත රෝග විද්‍යා අංශය මෙතෙක් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් නව පත්වීම් ලද හෙද හෙදියන් සදහා ද කොරෝනා මර්දන එන්නත ලබාදීමට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කරනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශය විශ්වාසය පළ කළේ.