Tuesday, May 14, 2024

General line - 0115112241

සති දෙකකට රට වසයිද? - යුද්ධ හමුදාපති උත්තර දෙයි




දින 14 ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ අද රාත්‍රී 11 සිට ලබන 28 වනදා තෙක් අවස්ථා 02 කදී සංචරණ සීමා පැනවීම පමණක් සිදුකරන බවයි.

දිවයිනම ආවරණය වන පරිදි අද රාත්‍රී 11 සිට සංචරණ සීමා පැනවීමට නියමිතයි. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පළමු අදියර අද රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වනවා.

ඉකුත් සති අන්තයේද මෙලෙසම දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදු කෙරුණා.

එහිදී ගොවි ජනතාව සහ ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්වන ආකාරය නෙත් නිවුස් ඔස්සේ ද දිගින් දිගටම අනාවරණ කළා.

මෙවර ද එවැනි තත්ත්වයක් මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ නෙත් නිවුස් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගෙන්  විමසීමක් කළා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන යන සහ එන ලොරි රථ සඳහා එය අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා.

එහෙත් එම අවසරය හිමි වන්නේ සීමාසහිතවයි.

ඒ අනුව ලබන 25 වනදාට ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි රථ සඳහා 24 වනදා ගමන් කිරීමට අවසර හිමි වනවා.

25 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ භාණ්ඩ බෑමෙන් පසු 26 වන දින භාණ්ඩ රහිත හෝ වෙනත් භාණ්ඩ නැවත පටවා ගත් ලොරි රථ ආපසු ගමන් කිරීමට ද අවසර හිමිවනු ඇති.

ලබන 28 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි සඳහා ලබන 27 වනදා ගමන් කිරීමට අවසර ලැබෙන බවයි පොලීසිය පැවසුවේ.