Thursday, May 16, 2024

General line - 0115112241

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බිරිඳට කොරෝනා 




තමන්ට සහ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා කියා සිටින්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඊයේ දිනයේදී සිය බිරිඳ රෝහල් ගත කොට සිදුකළ PCR පරීක්ෂණයේදී ඇය කොවිඩ් ආසාදිතව ඇති බවට හඳුනා ගත් බවයි.

පසුව තමාට සිදුකළ PCR පරීක්ෂණයෙන් අනතුරුව වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.

විපක්ෂ නායකවරයා පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිව සිට ඇති අතර ඔහු විසින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමද ප්‍රතික්ෂේප කර තිබුණා.

පවතින තත්ත්වය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රීතයින් වු මන්ත්‍රීවරුන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගතවන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු දැනුම් දී තිබෙනවා. විපක්ෂ නායකවරයාගේ ආශ්‍රීතයන් වූ මන්ත්‍රීවරුන් හදුනා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සී සී ටි වී කැමරා පද්ධති ද පරික්ෂා කිරීම ආරම්භ කර ඇති  බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කළේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගමන් ගත් ස්ථාන පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර ඇතුලු විපක්ෂ නායකවරයා සමග සමීපව කටයුතු කළ මන්ත්‍රීවරු රැසක් ස්වයං නිරෝධායනයට යොමුව ඇති බවද වාර්තා වනවා. ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම් හරහා සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.