Sunday, May 19, 2024

General line - 0115112241

ගින්න ගත් නෞකාව නිසා මීගමුවේ සිට මන්නාරම දක්වා මෙරට වෙරළ තීරයට බලපෑම්




එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සාගරයට මුසුවන අපද්‍රව්‍ය වල බලපෑම් මීගමුවේ සිට මන්නාරම දක්වා මෙරට වෙරළ තීරයට බලපෑම් එල්ල කරනු ඇති බවට සාගර විශේෂඥයින් අනතුරු අගවනවා.

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් පද්මලාල් පැවසුවේ නෞකාවේ ඇති ඉන්ධන යම් හෙයකින් කාන්දුවුවහොත් එම තෙල් තට්ටුද මෙම වෙරළ තීරයේ පැතිරීමේ අවදානමක් ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් පද්මලාල් වැඩිදුරටත් පැවසුවේ සාගර ජීවීන් මෙන්ම කොරල්පර පද්ධතියට ද බලපෑම් එල්ල වීමේ හැකියාවක් ඇති බවයි.

ඉන්ධන පමණක් නොව නෞකාවේ තිබූ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය හේතුවෙන් ද මෙරට වෙරළ තීරයට හා සාගර පද්ධතියට බලපෑම් එල්ල වනු ඇති බවට දැනටමත් ප්‍රකාශ වී අවසන්.

මිලිමීටර් 5 කට වඩා කුඩා ඇසට නොපෙනෙන තරමේ මයික්‍රෝ ප්ලාස්ටික් අංශු පැතිරීම හේතුවෙන් විශේෂයෙන්ම මත්සයින්ට බලපෑමක් එල්ල වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

මේ අතර මෙරට මුහුදු කලාප 03 කින් අහඹු ලෙස ලබාගත් මත්ස්‍ය සාම්පලවලින් බහුතරයක මයික්‍රෝ ප්ලාස්ටික් වැඩි ප්‍රතිශතයක් අඩංගුව තිබූ බව ඉකුත් වසරේදීද අනාවරණ කෙරුණා.