Sunday, May 19, 2024

General line - 0115112241

රිෂාඩ් ගේ පෙත්සමට විරෝධතා




හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින තමා ඉන් නිදහස් කිරීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම පවත්වාගෙන යාම අභියෝගයට ලක් කරමින් සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දෙන ලදී .

මේ අතර මෙම පෙත්සම විභාග කිරීමෙන් තමා වැළැකී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ජනක ද සිල්වා මහතා අද දැනුම් දෙන ලදී .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසට කටයුතු කරමින් තමා පෙත්සම්කරු වන රිෂාඩ් බදුර්දීන් අය අයට එරෙහිව නිර්දේශ නිකුත් කර ඇති බැවින් මෙම පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව ජනක් ද සිල්වා මහතා පවසා සිටියා .

ඒ අනුව මෙම පෙත්සම ජූනි මස 4 දා සලකා බැලීමට විනිසුරු විජිත් මලල්ගොඩ , විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කරන ලදී .

රැදවුම්භාරයේ සිටින  තමා කොරෝනා උවදුරට ගොදුරු වීමේ අවදානම අතිශයින්ම වැඩි බැවින් ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන බැවින්  තමාගේ ජීවිතයට බරපතල තර්ජනයක් පවතින බව  බදුර්දීන් මහතා පවසා සිටියි .

වෙනත් රැඳවියන් සහ පොලිස්  නිලධාරීන්ට තමා නිරාවරණය වීම මෙම අවදානමට හේතුව බව ඔහු පවසා සිටියි .

තමා පදනම් විරහිත චෝදනා මත රාමසාන් උපවාස සමයේ නීතිවිරෝධී ලෙසට අත් අඩංගුවට ගත් බවත් ඊට වන්දි ලෙසට රුපියල් මිලියන 5,000 ක මුදලක් වන්දි ලෙසට වග උත්තරකරුවන්ට ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඉල්ලා සිටින බව පෙත්සම්කරු පවසා සිටියි .

මෙම පෙපෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා , පොලිස්පතිවරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත .