Sunday, May 19, 2024

General line - 0115112241

බැංකු ගිණුමට වැටුප් බැර වූ පිරිසක් සංචරණ සීමා නිසා අසීරුතාවක




අත්‍යවශ්‍ය සේවා සදහා පැමිණි බොහෝ පිරිසකට රාජකාරී ලිපි තිබුණද මාර්ග බාධකවල සිදුවන පරීක්‍ෂාවලදී අසීරුතාවන්ට පත් වූ සිද්ධීන් කිහිපයක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. අත්‍යවශ්‍ය සේවා සදහා කැඳවා ඇති  ඇතැම් පුද්ගලයින් සදහා නිකුත් කර ඇති ලිපිවල ඔවුන්ගේ රථ වාහන අංකයද  සටහන් කර තිබුණා.

එම පුද්ගලයින්ට අයත් රථ වාහනවලින් අත්‍යවශ්‍ය සේවා සදහා ගමන් කරන තවත් අයෙකු නංවා ගැනීමේදී එම පුද්ගලයාගේ රාජකාරි ලිපියේද අදාළ වාහනයේ අංකය සටහන්ව තිබේදැයි පොලිස් නිලධාරීන් පරීක්‍ෂා කරන බවයි ඇතමුන් සදහන් කළේ. ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ රථ වාහන නොමැති අත්‍යවශ්‍ය රාජකාරී සදහා පැමිණි පුද්ගලයින් මෙම කාලසීමාවේදී අවසර හිමි රථ වාහනයකින් රාජකාරී ස්ථානය වෙත ගමන් කරන බවයි. එවන් පසුබිමක රථ වාහන නොමැති පුද්ගලයින්ගේ රාජකාරී ලිපිවල වාහන අංකයක් තිබේ දැයි පරීක්‍ෂා කිරීම ගැටළුකාරී බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර බොහෝ පිරිසකගේ මාසික වැටුප බැංකු ගිණුමකට බැර කෙරෙන අතර සංචරණ සීමා පැනවීම හේතුවෙන් පසුගිය මාසයට අදාළ වැටුප් ලබා ගැනීමට නොහැකිව ඇතැම් පුදගලයින්  ගැටළුකාරී තත්ත්වයන්ට මුහුණපා සිටින බවද වාර්තා වනවා. එවැනි ගැටලුවලට මුහුණ දුන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.