Friday, May 3, 2024

General line - 0115112241

ගිනිගත් නැවේ තිබූ විෂ ද්‍රව්‍ය ගැන පළමු වරට අනාවරණයක්




ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරට තුළ ගොඩබෑමට රැගෙන ආ ඒවා නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. එහි සභාපති ජෙනරාල් දයා රත්නායක කියා සිටියේ අන්තරායකර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 81 ක් නෞකාව තුළ තිබූ බවයි. 

කෙසේවෙතත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තවත් අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නෞකාව තුළ තිබිය හැකි බවයි. මේ හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව ඇති බව ඔහු පවසනවා. ගිනි නොගත් බහාලුම් මොනවාද යන්න හා ඒවායේ ඇත්තේ මොනවාදැයි කිසිවෙකු නොදන්නා බවයි එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

නෞකාව සඳහා ගත යුතු තීන්දුව රජය විසින් නිසියාකාරව ලබාගෙන නැහැ. එබැවින් මෙම ක්‍රියාවලිය හරහා ජනතාවට සිදුවිය හැකි ඛේදවාචකයට රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත්, වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඔහු ඉල්ලීමක් සිදු කරනවා. 

කෙසේවෙතත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ තවදුරටත් නෞකාව තුළ ඇති බහාලුම් මොනවාදැයි නිවැරදි තීරණයක් ලැබෙන තුරු නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවයි. 

මේ අතර නෞකාවේ ගමන්පථ දත්ත ගබඩාව සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ මෙහෙයුමක් ආරම්භ කළා. නෞකාවේ ඉදිරි කටයුතුවලදී ඉන්දන කාන්දුවක් සිදු නොවන ලෙසට වගබලා ගත යුතු බවට නෞකාවේ ගැලවුම්කාර සමාගමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනටමත් ලිඛිත නියෝගයක් ලබාදී අවසන්. 

නෞකාවේ පිටුපස කොටස මුහුදු ජලයෙන් යටවීම හේතුවෙන් මීටර් 500 ක් පමණ දුරට ඇදගෙන ගිය නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කළා. මේවනවිට නෞකාවේ පිටුපස කොටස මීටර් 22 ක් පමණ ගැඹුරු මුහුදු පතුලේ ගැටී තිබෙනවා. වෙළඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න පැවසුවේ නෞකාවෙන් දැනට සිදුව ඇති අලාභය ගණනය කර ගෙවීමට අදාළ නෞකාව හිමි සමාගම එකග වී ඇති බවයි.