Friday, May 3, 2024

General line - 0115112241

කළුගගේ ජල මට්ටම ගැන ප්‍රදේශ කිහිපයක ජනතාවට අනතුරු ඇගවීම්




කළු ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මිලි මීටර් 175 කට අධික වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කළු ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. එම බලපෑම ඉදිරි පැය 24 ඉක්මවා පවතිනු ඇති බවට ද එම දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කළා. අවදානම් ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. 

මේ අතර ඊයේ උදෑසන 08.30 න් ආරම්භ වී අද අලුයම 01.30 න් අවසන් වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයටයි. එම ප්‍රදේශයට මිලි මීටර් 247 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

ඊට අමතරව ඉංගිරිය ප්‍රදේශයෙන් මිලි මීටර් 218.5 ක වර්ෂාපතනයක් හා කටුනායක ප්‍රදේශයෙන් මිලි මීටර් 208.7 ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

හොරණ ප්‍රදේශයට මිලි මීටර් 193 ක වර්ෂාපතනයක් හා මිනුවන්ගොඩ ප්‍රදේශයට මිලි මීටර් 173.5 වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා.