Thursday, May 16, 2024

General line - 0115112241

හෙරොයින් කිලෝ 200 ක් සමග බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට




කිලෝග්‍රෑම් 219 කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් වැලිගම පොල්අතුමෝදර මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. ඒ, රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරකට අනුව නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්්‍යංශය සිදු කළ ඒකාබද්ධ වැටලීමකදීයි.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1,758 කට අධික බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. මෙම බහුදින යාත්‍රාව මගින් අදාළ හෙරොයින් තොගය වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයක් වෙත රැගෙනවිත් තිබෙනවා. පසුව ඒවා ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයෙන් ගොඩබිම වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

කිලෝග්‍රෑම් 219 යි ග්‍රෑම් 800 ක් පමණ වූ මෙම හෙරොයින් ගෑස් සිලින්ඩර් තුළ සූක්ෂම ලෙස අසුරා තිබුණා.

මෙම බහුදින ධීවර යාත්‍රාව සහ ඩිංගි යාත්‍රාව සමග මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 09 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙම බහුදින යාත්‍රාව ඉකුත් මැයි මස 11 වන දින මාතර කොට්ටේගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ජාත්‍යන්තර මුහුදේදී ජාත්‍යන්තර ජාවාරම්කරුවන් මාර්ගයෙන් හෙරොයින් තොගය මෙම බහුදින යාත්‍රාව වෙත ලැබී ඇති බවට සැකකෙරෙනවා.

අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් අවුරුදු 26 ත් 43 ත් අතර වයස් සීමාවල පසුවන වැලිගම, අහංගම, දික්වැල්ල්, කොට්ටේගොඩ, ඉහළවත්ත, මිරිස්ස, පොල්අතුමෝදර සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ පිලිබද වැඩිදුර විමර්ශන කටයුතු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්්‍යංශය එක්ව සිදුකරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ.