Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ ජනපති සහ අගමැති සිටියදී රැස්වූ ජිවන වියදම් අනුකමිටුවේදී  - අමාත්‍ය උදය ගම්මන්පිල (VIDEO)




ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරමින් තමන් බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉදිරියට පැමිණියේ රටේ නායකත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා තමන් ස්වේච්ජවෙන්ම ඉදිරිපත්වූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

ඉතිහාසයේ මේ දක්වා ඉන්ධන මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යාංශය බවත්, ප්‍රථම වරට බලශක්ති අමාත්‍යාංශය විසින් ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබූ බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යට හමුවට එක්වෙමින් සඳහන් කර සිටියේ.

එමෙන්ම ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තීරණය ගනු ලැබුවේ තමන් පමණක් නොවන බවත් එය ජිවන වියදම් අනුකමිටුව විසින් සිදුකළ බවයි අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ.

එම අනුකමිටුව සඳහා ජනාධිපතිතුමා, අගමැතිතුමා. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන , කෘෂි කර්ම අමාත්‍යමහින්දානන්ද අලුත්ගමගේ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, වෙළෙඳ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන අමාත්‍යවරුන් සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස තමන් ද එක්වූ බවයි ඔහු කියා සිටියේ.

මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාට අවසරය දුන්නේ කවුදැයි යන්න රටට හෙලිකිරීම සාගර කාරියවසම් මන්ත්‍රීවරයා හෙළිකර යුතු බවත්, එම පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරුන් තමන්ට කතා කරමින් ඔවුන් කිසිවෙකුත් ඊට අනුබල නොදුන් බවට ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට තමන් සහ විවාදයකට එන ලෙස ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී ඇරයුම් කර සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් ඊයේ දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව මත අතිරේක පීඩනයක් ඇති නොකළ යුතු බවත් තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය වෙනස් කළ යුතු බවයි. 

සිය පක්‍ෂයේ සහ එහි නායකයින් අප්‍රසාදයට පත් කිරීම සදහා මෙවැනි තත්ත්වයක් ඇති කිරීමට අමාත්‍යවරයා කටයුතු කරන්නේ දැයි සාධාරණ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා. මෙම නිවේදනයට පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල පැවති මාධ්‍ය සාකච්ජාවේදී මේ බව සඳහන් කර සිටියා.